කුණු පෙට්ටියක් එදා උදේ මහ පාරට ඇදල දාල තිබුණා. අල්ලපු ගෙදර අය මට බැන්නා, කඩේ කුණු කියලා. මම පොලිසියට පැමිණිලි කරන්න ගිහින් ඉද්දී මට ගෙදරින් කිව්වා අපේ ගෙදරට පොලිසියෙන් ඇවිත් කියලා. මම පැමිණිල්ල දාන එක නවත්තලා ගෙදර ගියා.පොලිසියේ අය යන්න ගිහින්. එයාලා කියලා ගිහින් තිබුණා
පාරේ කුණු දාලා තිබුණොත් උසවි දාලා රුපියල් 18000 ක් දඩ ගහනවා කියලා. එතකොට මට ආව තරහ හිතාගන්න බැරිවුණා.
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක සිටි දරුවන් දෙදෙනෙකු 27 දා පෙරවරුවේ කඩුවකින් කපා ඝාතනය කළ සිද්ධියේ සැකකරු වන වයික්කාල පදිංචි වර්ණකුලසූරිය මිගෙල් කුට්ටිගේ ඉෂාන් සුදීප ප්‍රනාන්දු නමැත්තා පෙරේදා (28) විශේෂ ඉල්ලීමක් කරමින් මාරවිල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ එදින පස්වරුවේ මෙම පාපොච්චාරණයක් සිදු කරන ලදී.

සිද්ධියෙන් මියගියේ 19 හැවිරිදි ගාල්ලපතිරණගේ ගිම්හරි නිෂේලි රූපසිංහ

සහ 8 හැවිරිදි සිසුවකු වූ සහන් මෙත්සර රූපසිංහ යන අක්කා මලෝ දෙදෙනෙකි. එදින උසාවියේ පැවති සියලු වෙනත් නඩු විමසා අවසන් කර නීතිඥවරුන් කිහිපදෙනකු, පොලිස් නිලධාරීන් හා උසාවි නිලධාරීන් කිහිපදෙනකු ඉදිරියේ මෙම පාපොච්චාරණය සිදු කිරීමට කටයුතු යොදා තිබූ අතර, උසාවි ඉහළ මහලේ දොරටු වසා තැබිණි. සැකකරු විත්ති කුඩුවේ සිටී.

විනිසුරු :මෙම පාපොච්චාරණය කරන්නේ කාගේ හරි බලපෑමකින්ද?

සැකකරු : නැත ස්වාමීනි, මගේ කැමැත්තෙන්.

විනිසුරු : පොලිසියෙන් බලපෑමක් කළාද? තමා නැවත පොලිසියට බාර දන්නේ නෑ.

සැකකරු: නැත ස්වාමීනී.

විනිසුරු: එහෙමනම් හයියෙන් කියන්න තියෙන දේ කියන්නෙ.

සැකකරු: මාගේ බිරිඳගේ ඉඩමක් විකුණලා මේ කැන්ටින් ව්‍යාපාරය පටන් ගත්තා. අසල නිවසේ පදිංචි අයගෙන් මට දිගින් දිගටම බලපෑම් ඇති වුණා. මම ව්‍යාපාරය කරන්න ගත්තේ ඕන වෙලාවක ගලවාගෙන යන්න පුළුවන් කන්ටේනර් පෙට්ටියකයි. මේ නිසා ලිඛිත අනුමැතියක් කාගෙන්වත් ගත්තේ
මේවාට අනුමැතිය ගන්න ඕනෑ කියා දැනගත් පසුව ප්‍රාදේශීය සභාවට ආර්ඩී එකට මට විරුද්ධව පැමිණිලි කරලා තිබුණා.තේ කඩය එතනින් ඉවත් කරන්න කියලා බලපෑම් කළා.

මේ ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 25 ක මුදලක් බිරිඳගේ ඉඩම විකුණලා යෙදෙව්වා. මට ව්‍යාපාරය නවත්තන්න අමාරුයි. පසුගිය මාස දෙක ඇතුළත මගේ අම්මාට, බිරිඳට මට දැඩි මානසික පීඩනයක්, කම්පනයක් මේ අය ඇති කළා. මගේ කන්ටේනර් එකෙන් එන වතුර ඉවත්ව යන විදියට පීලි දමා හදලා තිබුණේ. ඒත් ඒක මදි වුණා. මගේ ව්‍යාපාරය අල්ලපු ගෙදරට කරදරයක් කියා ප්‍රාදේශීය සභාවට පැමිණිල්ලි කළ නිසා වී.ඕ. මහත්තයෙක් ඇවිත් බැලුවා. ඔවුනුත් මට බලපෑම් කළා.

මම සාධාරණයක් ඉල්ලුවා. මම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට කියා මෙය දිගටම කරගෙන යනවා. කට වචනෙන් කියා තිබුණේ. ලිඛිතව දුන්නේ නෑ. ඒ ගැන මගේ දුරකතනයේ රෙකෝඩ් කර තිබෙනවා. මට අද (27) සභාපතිතුමා පරීක්ෂණයකට සභාවට එන්න කියා තිබුණා. 26 දා රාත්‍රී කඩේ ඉස්සරහා තිබුණු කුණු බක්කි පෙරළා දමා තිබුණා. හේමන්තගේ බිරිඳ ඇවිත් කුණුවලට පයින් ගසා ජංගම දුරකතනයෙන් ෆොටෝ ගෙන තිබුණා. ඊට දවස් තුනකට කලින් මම වෙන්නප්පුව පොලිසියේ අයි.පී. ලියනගේ මහත්තයා සමග සාකච්ඡා කර මගේ මතු ආරක්ෂාවට පැමිණිල්ලක් දැම්මා.


ඊයේ (27) සිදුවීමෙන් (කුණු බක්කි සිද්ධියෙන්) පස්සේ  119 ට මම පොලිසියට ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා පැමිණිල්ලක් දාන්න ගියා. එතකොට අම්මා කෝල් කරලා කිව්වා පොලිසිය ගෙදර ඇවිත් කියලා. මම කිව්වේ විනාඩි පහකින් එනවා කියලා. ගෙදර යද්දී එයාලා ගිහිල්ලා. එයාලා අම්මාට කිව්වලු පාරට කුණු දාලා ප්‍රශ්නයක් ඇති වුණොත් රුපියල් 18000 ක දඩයක් නියම කරනවා කියලා.

මම ලක්ෂ 25 ක් වියදම් කරලා ඉදිකළ ගොඩනැගිල්ල වෙනස් කරන්න වෙන්නේ අල්ලපු නිවසට කුලියට ඇවිත් ඉන්න ප්‍රියංගි සහ අයිතිකාර හේමන්තත් නිල්මිණීගේත් වැරදි වැටහීම නිසා බව මට හිතුණා. මට පළිගන්න හිතුණා. මට ඒ වෙලාවේ ආපු කේන්තිය නිසා මගේ නිවසේ තිබුණු කඩුවත් රැගෙන ඔවුන්ගේ නිවසට ගියා. මම මිනීමැරීමේ චේතනාවෙන් නෙවෙයි එතෙන්ට ගියේ. ඒත් එතෙන්ට යද්දි මට කේන්තිය දරා ගන්න බැරි වුණා. මට  හේමන්තගෙන් පළිගන්න ගිය මම ඔවුන්ගේ දරුවන් ඉදිරියට ආ නිසා මට මගේ කේන්තිය පාලනය කරගන්න නොහැකි වුණා.

මම කොටලා දැම්මා. කාට කෙටුවද, මොකටද කෙටුවේ කියා මම දන්නේ නෑ. මම කඩුවත් අරන් ඉස්සරහ පාරට දුවගෙන ආවා. ප්‍රියංගිලා කුලියට අරන් තියෙන ගෙදරට ගිහින් උරහිසින් දොරට පහර දුන්නා. ඇය ඉන්නවද කියා නිරීක්ෂණය කළා. ඇය හිටියේ නැති නිසා හැරිලා එන විට ගේට්ටුව ළඟ හිටපු දෙතුන් දෙනෙක් කඩුව ඉල්ලුවා. මම කඩුව කාටවත් දුන්නේ නෑ. මම නැවත කඩේ ගාවට ආවිට මගේ අතින් කඩුව කවුරු හරි උදුරා ගත්තා. සෙනග 150 200 විතර හිටියා. කවුද කඩුව ගත්තේ කියා දන්නේ නෑ.

ඒ වන විට ඇඳන් හිටියේ ඩෙනිමයි, ටීෂර්ට් එකයි. ඊට උඩින් ෂර්ට් එකක් ඇඳන් මම නිවස අසළ ග්‍රිල් වැඩපළේ අයෙකු සමඟ පැමිණ පොලිසියට බාර වුනා.මගේ බිරිඳ ළඟ සාක්ෂි තියෙන ජංගම දුරකතනය තියෙනවා. ඇඳුම්, අයිඩෙන්ටි, වටිනා කියන දේවල් ගෙදර තියෙනවා. ඒවා දැන් ගන්න යන්න විදියක් නෑ. මගේ බිරිදට, ඥාතීන්ට ඒවා ගන්න නිවසට යන්න පොලිස් ආරක්ෂාව සපයන්න කියා මම ඉල්ලනවා.

විනිසුරු : අසල්වාසී දරුවන්ගේ අවමඟුල් කටයුතු අවසන් වූ පසුව නිවසට ඥාතීන්ට යාමට පුළුවන්.

ඒ අවස්ථාවේ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් අමතා ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වෙන්නප්පුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කෙරිණි.සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටි අතර, උසාවි කටයුතු සඳහා සැකකරුගේ පාපොච්චාරණ අවස්ථාවට නීතිඥ නිලංග හෙට්ටිආරච්චි මහතා උසාවියට සහය දැක්විය. සැකකරු සැප්තැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පිනිසුරු කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.