https://www.gossiplankanews.com/2019/08/5-lakhs-fraud-woman-attract-man.html#more
මංගල දැන්වීමක් පුවත්පතක පළ කර එමඟින් කාන්තාවක් හඳුනාගෙන විවාහ කර ගන්නා බවට පොරොන්දුවී එම කාන්තාව රවටා ඇයගේ රුපියල් පන් ලක්ෂ යකට අධික රන් භාණ්ඩ
සොරකම් කර දින ගණනාවක් අතුරුදන්ව සිටි අපූරු මනාලයා ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා සහ උප පොලිස් පරික්ෂක මෙරි නිමල් ඇතුළු නිලධාරින් පිරිසක් නෙළුව ලංකාගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

මනාලියගෙන් සොරකම් කරගෙන ගිය  රන් භණ්ඩද පොලිසිය විසින් සොයාගෙන ඇත. අපූරු මනාලයා නෙළුව, ලංකාගම තාවකාලිකව කල්ගත කළද ඔහු වඳුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් අනංගයා සහ ඊට අනුබල දුන් ත්‍රීවීලර් රියැදුරු පිළිබඳ

තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

‘තනි තීරණ ගතහැකි බාහිර කරදර නොමැති අසරණභාවයට පත්වූ කාන්තාවකට ඇරැයුම් කරමි” යනුවෙන් සඳහන්ව තිබූ මංගල දැන්වීමක දුරකථන අංකයට හෝමාගම ප්‍රදේශයේ පදිංචි තිස් නව හැවිරිදි කාන්තාවක් ඇමතුමක් දී ඇත. ඇය පෞද්ගලික ආයතනයක සේවිකාවකි. එවිට ඇමතුම ගත් පුද්ගලයා පවසා ඇත්තේ තමා කතරගම ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන අතර අසරණභාවයට පත්වූ කාන්තාවක් විවාහ කර ගැනීම බලාපොරොත්තුව බවයි.

සැමියා දරුවන්ද රැගෙන තමා අතහැර ගොස් ඇති නිසා ඔහුගේ අදහස්වලට ඇයද එක භවී ඇත. පසුව දෙදෙනා මාස දෙකකට ආසන්න කාලයක් දුරකථනය ඔස්සේ කතා කළත් ඔහු ඇයගේ නිවෙසට ගොස් නැත. පසුව විවාහ විමට ඔහු  ඇයට ආරාධනා කර ඇති අතර ඇයද එයට කැමැත්ත පළ කර ඇත. ඒ අනුව ඇය සතු සියලුම රන් ආභරණද මුදුද  රැගෙන ඔහු කියූ පරිදි ගාල්ලට පැමිණ ඇත. ඔහු ඇය හමුවට පැමිණ හඳුනා ගැනීමෙන් පසු පවසා ඇත්තේ තමාගේ නිවෙස බදුදී තිබෙන අතර බදුකරුවන් හෙට යන බවයි.

ඒ නිසා අද රාත්‍රිය හෝටලයක නතරව හෙට විවාහය ලියාපදිංචි  කර නිවෙසට කැඳවාගෙන යන

බවත් ඔහු පවසා ඇත. ඇයද ඒ අනුව ගෙල බැඳි පෙන්ඩනය සහිත මාලය, මුදු දෙක, අත් පලඳනාව, කරාබු කුට්ටම ආදී සියලුම රන් ආභරණ ගලවා කුඩා මංජුසාවක තැන්පත් කොට අත් බෑගයේ දමා ගත්තාය. පසුදින අලුයම 5.45ට පමණ දෙදෙනා ගාල්ල බස් නැවැතුම් පොළට පැමිණියේ විවාහය ලියාපදිංචි කිරීමට මාතර යෑම සඳහාය.මාතරට පැමිණීමෙන් පසු ඔහු මඳක් ඉවතට ගියේය.

එහෙත් බොහෝ වේලාවක් යනතුරු ඔහු ආපසු ආවේ නැති නිසා ඇය බෑගය විවෘත කර බැලුවාය. කහ වතුරෙන් සේදීමට රන් ආභරණ තැන්පත් කළ මංජුසාව නැත. එපමණක් නොව බෑගයේ තිබූ මුදල් රුපියල් පන්දහසක්ද නැත. සියල්ල සිදුවී හමාර බව දැනගත් ඇය ආපසු ගාලට පැමිණ ඇත. පොලිසිය පැවැසුවේ ඔවුන් රාත්‍රිය ගතකරන ලද හෝටලයට ඔහු විසින් දී ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පතක් බවය. මෙම පුද්ගලයා මේ ආකාරයට තවත් ප්‍රදේශවල කාන්තාවන්ද රවටා මුදල් සහ රන් භාණ්ඩ වංචා කර ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි.

-තරිඳු භාග්‍ය විජේහේවා-