කොළඹ නගරයේ ස්මාර්ට් LED ආලෝක ක්‍රමවේදයක් සැපයීම, සවිකිරීම හා නඩත්තු කිරීම හා ඒවා අලුතින් සවිකිරීම් සඳහා වන ව්‍යාපෘතියක් පෞද්ගලික ආයතනයකට ලබාදීම මඟින් කොළඹ මහනගර සභාවට
රුපියල් මිලියන 3760ක මූල්‍යමය පාඩුවක් සිදුවන බවට චෝදනා කරමින් මහ නගර සභාවේ මන්ත්‍රිවරියක් විසින් කොළඹ නගර සභාවට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.

කොළඹ මහ නගර සභා මන්ත්‍රිනි ශර්මිලා ජයවර්ධන ගෝනවල මහත්මිය විසින් නඩුව ගොනුකරමින් චෝදනා කර ඇත්තේ අදාළ ව්‍යාපෘතිය
'රිචඩ්සන් අවුට්ඩෝ' නමැති පෞද්ගලික ආයතනයක් සමඟ වසර 20ක් සඳහා ගිවිසුම්ගතව ඇති බවත් එම ව්‍යාපෘතිය යටතේ විදුලි වාහන චාර්ජ් කිරීම, Wifi bluetooth, රේඩියෝ Ftrequency ආදිය ඇතුළත්ව 2038 දක්වා ලොවට හඳුන්වා දෙන සියලුම තාක්ෂණයන් එම ගිවිසුම් යටතේ නගර සභාව සතු සම්පත් විශාල ප්‍රමාණයක් අදාළ ආයතනය මගින් භාවිත කරන බවය.

ගිවිසුමට අනුව පළමු වසර තුන අවසානයේ සිට අදාළ පෞද්ගලික ආයතනයට නගර සභාව මගින් ගෙවීමක් සිදුකළ යුතු බවටද ඊට අමතරව ලයිට් කණුවල නඩත්තුව හා සවිකිරීමේ බර පැන මහ නගර සභාව විසින් දැරිය යුතු බවටද ගිවිසුම අනුව තීරණය වී ඇති අතර වර්ග අඩි 1200/2000 අතර ගොඩනැඟිල්ලක් මෙම ව්‍යාපෘතිය සඳහා අයකිරීමකින් තොරව මහ නගර සභාව විසින් ලබාදීමට කටයුතු කර ඇත.

එහිදි ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන් විසින්
සම්පූර්ණයෙන්ම මහනගර සභාව නොමග යැවීමක් සිදුකර ඇති බවද නගර වැසියන්ගේ බදු මුදල්වලින් පෞද්ගලික ආයතනයක් පෝෂණය කිරීම සහ ඒක පාර්ශවික වාසි ලබාගැනීම සඳහා පමණක්ම අදාළ ගිවිසුම හා සකස් කර ඇති බවටද අදාළ මන්ත්‍රිවරිය චෝදනා කර සිටියි.

ඊට අමතරව අදාළ ව්‍යාපෘතිය යටතේ නගරයේ සවිකරනු ලබන ආරම්භක සිසිටිවී කැමරා 200ක ප්‍රමාණයක දත්තයන් වාණිජමය කරුණු සඳහා අලෙවි කිරීමේ පූර්ණ බලය අදාළ පෞද්ගලික ආයතනයට මෙම ගිවිසුම යටතේ ලබාදී ඇති බවද එමඟින් නගර වැසියන්ගේ පෞද්ගලික ආරක්ෂාවට හා පෞද්ගලිකත්වයට බරපතළ හානි සිදුකර ඇති බවටද ඇය වැඩිදුරටත් චෝදනා කර සිටියි.

-අමිල අබේරත්න-