කෝටිපති ව්‍යාපාරිකාවක ලෙස පෙනී සිටිමින් මැණික්  ව්‍යාපාරිකයකුට අයත් රුපියල් කෝටි 2500ක් වටිනා මැණික් ගල් 400ක් ලබාගෙන මුදල් නොදි වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා
කරමින් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරිමට අදාළව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 403.380 වගන්ති ප්‍රකාරව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂණ ඒකක 3 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්සක
රවීන්ද්‍ර විමලසිරී මහතා විසිනි.

මැණික් වෙළෙඳාමට අදාළ තැරැව්කරුවකු විසින් කෝටිපති ව්‍යාපාරිකාවක ලෙසින් හදුන්වා දෙන ලද කාන්තාවක් තමන් සතුව තිබූ රුපියල් කෝටි 2500ක් වටිනා විවිධ වරිගයේ මැණික් ගල් 400ක් ලබාගෙන මුදල් නොදී වංචා කළැයි මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා නිබුනේ හිදැල්ලන, රත්නපුර පදිංචි එන්.පී.ආර්. ජයරත්න නමැති මැණික් ව්‍යාපාරිකයකු විසිනි.

තමන් ඉකුත් 1991 වසරේ සිට මැණික් ව්‍යාපාරිකයකු ලෙස සේවයේ යෙදෙන බැවින්, තැරැව්කරුවෙකු මාර්ගයෙන්  ඉකුත් 2017 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා මෙම තැනැත්තිය හදුනාගත් බවින් මෙම තැනැත්තිය මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ නැගණියක් ලෙසින් ද හදුන්වා දී ඇතැයි ද සඳහන් කර ඇත.

තමන් සතු මැණික් ගල් 400ක් ලබාගත් එම තැනැන්තිය මුදල් ලබා දීම සඳහා තමන් සමග කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගිය බවත් එහිදී කළමනාකරු මුණගැසීමෙන් අනතුරුව මුදල් තවමත් තම ගිණුමට ලැබී නැති බව සඳහන් කළ බවත් පැමිණිලිකරු සිය පැමිණිලෙන් දක්වා ඇත. පසුව ඇය පිළිබඳ සොයා බැලීමේදී ඇය ලබා දී ඇති දුරකතන අංකවලට ප්‍රතිචාර නොදක්වා මුදල් ලබා නොදී මඟහැර සැඟවී සිටින බැවින් මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසට පැමිණිල්ල ඉල්ලා ඇත .

මෙම සිද්ධියට අදාළව මේ වනවිට තැරැව්කරුවන් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සැකකාරිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන ඇති බවත් විමර්ශන අවසානයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙන ඉදිරිපත් කරනු ලබන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

 නිමන්ති රණසිංහ