කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස්වූ ආසනයට ජාතික ලැයිස්තුවේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පත්කිරීමෙන් පසු හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්වීම සඳහා දහනව
දෙනකුගෙන් ඉල්ලීම් ලැබී ඇතැයි
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසා තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයෙන් පවා ඉල්ලීම් ලැබී ඇතැයිද, ඒ අතරින් වඩාත්ම සුදුස්සා පුරප්පාඩුවට පත් කරන බවද ඔහු පවසයි.

කොළඹ ඊයේ (22 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ අමරවීර කෙසේ වුවද එම පුරප්පාඩුව සඳහා සුදුස්සකු නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් කර නැතැයිද පැවසීය.

එම පුරප්පාඩුව සඳහා හිටපු ජනාධිපතිනිය පත් කිරීම සඳහා ඉල්ලීමක් ලැබී තිබේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමරවීර සඳහන් කළේ එවැනි කිසිදු ඉල්ලීමක් ලැබී නැති බවයි. හිටපු ජනාධිපතිනියගේ නම ජාතික ලැයිස්තුවේ නොමැති බවත්, ඇය මැතිවරණයට හෝ තරග නොකළ බවත් පැවසූ මහ ලේකම්වරයා එම තත්ත්වය මත හිටපු ජනාධිපතිනිය පත් කිරීමේ හැකියාවක් නැති බවද කීවේය.