රට තුළ එළැඹිය හැකි ඕනෑම තත්තවයකට මුහුණ දිම සඳහා යුද්ධ හමුදා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කර කාර්යක්ෂමතාව ඉහළ තලයකට ගෙන ඒමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා යුධ හමුදාව ලොව අන් කිසිදු රටකට නොදෙවෙනි යුද්ධ හමුදාවක්
ලෙස අත්කරගෙන ඇති කීර්ති නාමය හා විශ්වාසය අනාගතයේ දී ද එලෙසින්ම පවත්වාගෙන යාම සියලු දෙනාගේ වගකීම බවත් නූතන යුගයට හා අනාගතයට සරිලන පරිදි නූතන තාක්ෂණ දැනුමෙන් පරිපූර්ණ වූ හමුදා සාමාජිකයන් පිරිසක් බිහි කිරීම සිය බලාපොරොත්තුව බවත් ගවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ බාරගනිමින් සඳහන් කළේය.

දශක තුනකට අධික කාලපරිච්ඡේදයක් රට තුළ පැතිර තිබූ රුදුරු ත්‍රස්තවාදය අවසන් කර වසර 10ක් ඉක්මවා ගොස් ජනතාව නිදහසේ අරුණැලි අත්විදිමින් සිටින මොහොතක අප්‍රේල් 21 දින අන්තවාදී ත්‍රස්තවාදීන් එල්ල කළ මිලේච්ඡ ප්‍රහාර
මාලාව හේතුවෙන් මාතෘ භූමියේ සාමය සමගිය මෙන්ම සහජීවනය පලුදු වී රට තුළ යම් අවිනිශ්චිත කාල පරිච්ඡේදයක් ඇති වූ බවත් හමුදාවේ අධිෂ්ඨානශීලීබව කැපවීම හේතුවෙන් ජන ජීවිතය ඉතා කෙටි කලක් තුළදී නගා සිටුවීමෙන් ජීවිතවල  සුරක්ෂිත බව තහවුරු කිරිමට හැකිවූ බවද යුද හමුදාපතිවරයා කීවේය.

ඒ සඳහා උරදුන් සියලු දෙනා කෘතඥතාපූර්වකව සිහිපත් කරන බවද හමුදාපතිවරයා සිය ධූරයේ වැඩ බාර ගනිමින් නිකුත් කළ පණිවිඩයේ සඳහන් වේ. ලෝකයේ ඕනෑම හමුදාවක් තම රටහි  පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකින්නටත්, ඔවුන්ට නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමේ වටපිටාව නිර්මාණය කිරීමටත් බැඳී සිටින බවත් දෙස් විදෙස් වශයෙන් ඇති වන තර්ජන හිදී පවා ඒවා මැඩ පවත්මින්, අධිෂ්ඨාන පූර්වකව ක්‍රියා කිරිමට යුහුසුලුව බැදී සිටින බවත් එම පණිවිඩයේ සඳහන් කර ඇත.

පසුගිය මානුෂීය මෙහෙයුමේ දි මුළු ලෝකයටම ආදර්ශයක් වෙමින් ජනතාව මිලේච්ඡ ත්‍රස්තාවාදින්ගේන් නිරුපද්‍රිතව මුදා ගැනීමට ආරක්ෂක හමුදා කළ කැපවිම සියලු ජාතීන්ට නොරහසක් බවත්, එම මානුෂීය භාවය වර්තමානයේ ඒ ආකරයෙන්ම කටයුතු කිරීම මහින් සියලුම ජාතීන්ට සහජීවනයෙන්, සංහිඳියාවෙන් හා සහෝදරත්වයෙන් ජීවත් වීමේ අයිතිය උදාකර දීම හමුදාවේ වගකීම බවත් එහි සඳහන් වේ.

මාතෘ භූමිය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට අභීතව සටන් කළ, කය දානයෙන් හා ඇස් ඉස් මස් පරිත්‍යාග කළ අභීත රණවිරුවන් ද, ඔවුන්ට සිය රාජකාරි ඉටුකිරීමට ශක්තියක් වූ දෙමාපියන්, බිරියන් ඇතුළු පවුලේ ඥාතීන්ද, රට බේරා ගැනීමට අභීතව සටන් කළ සියලු රණවිරුවන් ද ගෞරවයෙන් සිහිපත් කරන බවද හමුදාපතිවරයාගේ පණිවිඩයේ සඳහන් වේ.