https://www.gossiplankanews.com/2019/08/14-deaths-kasippu-ragama.html
විෂ සහිත නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් රෝහල්ගතව සිටි තවත් පුද්ගලයකු ඊයේ (07දා) රාගම ශික්ෂණ රෝහලේදී මරණයට පත්විය. මේ අනුව බාඳුරාගොඩ ප්‍රදේශයේදී පසුගිය 01 හා 02 යන දිනවල සිදුවූ අදාළ සිදුවීමෙන් මිය ගිය ගණන 14 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ සුමිත් ආබෘ (56) නැමැති දෙදරු පියෙකි.  කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (07දා) වන විට සුවය ලබා නිවෙස් කරා පැමිණ සිටියි.

තවත් කිහිපදෙනෙකු මෙසේ නීති විරෝධී මත්පැන් පානය කොට රෝගී වීම හේතුවෙන් රෝහල්ගත වී ඇතැයිද. තවත් කිහිපදෙනකු හොර රහසේ පිටස්තර පෙදෙස්වල රෝහල්වලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවටද පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.


තොරතුරු අනුව මෙම සිදුවීමෙන් රෝගී වූ තිහක පමණ පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට පොලීසිය පවසයි.

මේ අතර, නීති විරෝධි මත්පැන් පානයෙන් අනතුරුව රෝගාතුරව මියගිය මඩිතියවල මැදිකැලේ වත්තේ විසූ සුනිල් අබේරත්න (48) යන අයගේ දේහය අවසන් කටයුතු සඳහා ඊයේ (07දා) සවස ගෙන යන අතර ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් බෙදාහැරී පුද්ගලයාගේ නිවස ඉදිරිපිට රැඳී සිටිමින් මියගිය පුද්ගලයාගේ ඥාතීහු විරෝධතාවක නිරතවූහ.

ගම පුරා පැතිරන මත් උවදුර මැඩ පැවැත්වීමට අදාළ අංශ අපොහොසත් වී ඇති බවත්,බාඳුරාගොඩ ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ව්‍යාපාරිකයාගෙන් ලබා ගන්නා මත්පැන් මෙම ස්ථානය බෙදා හරින අතර, පොලීසිය හා සුරා බදු නිලධාරින් මෙය වැටලීමට පියවර නොගන්නො බවටද ඒ අවස්ථාවේ විරෝධතාකරුවෝ චෝදනා කළහ.

මෙහිදී වීරෝධතාකරුවන් දේහය කරමතම තබාගෙන වීරෝධය දැක්වූ අතර, ප්‍රදේශයේ ජනතාව මේ ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදෙන බවට බලධාරීන් ප්‍රතිචෝදනා කරන බවට මාධ්‍යවේදීන් පැවසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළේ අදාළ ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබාගැනීමට නම් ඔවුන් දන්නා බවයි.


 දිවුලපිටිය. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී චමින්ද කරුණාරත්න මහතා ඇතුළු ගම්වාසීහු මේ අවස්ථාවට එක්ව සිටීයහ.

ජනතාවගෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් කොටදෙණියාව පොලීසියෙන් අප කළ විමසීමේදී එහි නිලධාරියෙකු සඳහන් කළේ මෙම ස්ථානයේ නිතර වැටලීම් කරන බවත්, මම සිදුවීමත් සමග අනාවරණය වූ කරුණු මත අදාළ සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

මේ අතර මෙකී නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පසුව වමනය, පාචනය ඇස් දැවිල්ල ඇතුළු සමාන රෝග ලක්ෂණ සහිතව  රෝහලට ඇතුළත් කෙරුණු පළමු පුද්ගලයන් දෙදෙනාගේ මරණ සිදුවීමට හේතුව අනාවරණය කර ගැනීම උදෙසා ඔවුන්ගේ දේහයන් යළි ගොඩ ගැනීමට කටයුතු කොට තිබේ.

ඉන් එක් සිරුරක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත හෙට (09දා) උඩුඋල්ලේදී ගොඩ ගැනීමට නියමිත බව පල්ලෙවෙල පොලීසිය පවසයි.

මෙසේ ගොඩ ගෙන පරික්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ බාදුරාගොඩ, උඩුඋල්ල පදිංචිව සිටි කළුකපුගේ දයාරත්න (63) නැමැති පුද්ගලයායිගේ දේහය සම්බන්ධවය.

පසුගිය 01 වැනිදා රෝගාතුරව රෝහල්ගත කෙරුණු මෙම පුද්ගලයා හා ගස්පේ, ලක්ජයගම, පදිංචිව සිටි  සුමනදාස 82 යන අයවලුන්ගේ හදිසි මරණ පරීක්ෂණ පසුගියදා(02දා) මීරිගම රෝහලේදී පැවැත්වූ අතර, එහිදී ඉදිරිපත් වු සාක්ෂි හා පැවැති රෝගී තත්වයන් සැලකිල්ලට ගනිමින් වෛද්‍ය නිගමන අනුව හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා එම මරණ ස්වභාවික හේතුන් මත සිදු වු ඒවා බව නිගමනය කර තිබිණි.

දිගින් දිගටම පුද්ගලයන් රෝගී වීමත්, මිය යෑමත් හේතු කොටගෙන පරීක්ෂණ පැවැත්වෙද්දී මෙම දෙදෙනාද බාඳුරාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් පොළෙන් නීති විරෝධී මත්පැන් පානය කර ඇති බවට හෙළිවීමෙන් අනතුරුව මෙම සිරුරු ගොඩ ගැනීමට අවැසි මූලික කටයුතු සිදුකර අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම සිරුරු ගොඩ ගැනීමට අවැසි මූලික කටයුතු සිදු කෙරෙමින් පවතින බව පොලීසිය පවසයි.