ක්‍රිකට් පිටියේ නිපන්දු විනිශ්චය කිරීම සඳහා තෙවැනි විනිසුරුටත් අවස්ථාවක් ලබාදීමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී) පියවර ගෙන ඇත. එහිදී යම් පන්දු යවන්නෙකු නිපන්දුවක් යැවූ විට සිටියේ විනිසුරු එය සංඥා නොකළහොත්, වහාම අදාළ විනිසුරුට ඒ සම්බන්ධව දැනුම්දීමට තෙවැනි විනිසුරුවරයාට අවස්ථාව
ලබා දී ඇත. කෙසේ වෙතත් මෙය මුලින්ම
අත්හදා බැලීම වෙනුවෙන් ඉදිරි මාස හයක කාලයක් තුළ පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරග සඳහා යොදා ගැනීමට නියමිතය.

මීට පෙර අයි.සී.සී.ය විසින් 2016 වර්ෂයේදී පැවැති එංගලන්ත - පාකිස්තාන එක්දින තරගාවලියේදී මෙම අත්හදා  බැලීම සිදු කළ අතර, නවීන තාක්‍ෂණය සමගින් පිටියේ විනිසුරුට සිදුවන අත්වැරැදීම් අවම කිරීමට මෙවැනි පියවර ගන්නා බව අයි.සී.සී.ය පවසා සිටියි.

නිමාවූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොදෙව් - ඔස්ට්‍රේලියා තරගය අතරතුරදී මිචෙල් ස්ටාක්ගේ පන්දුවකට කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් දැවී යාමද  ආන්දෝලනාත්මක වූයේ, ඔහු දැවී යාමට පෙර පන්දුව නිපන්දුවක් ලෙස පුනරූපණ මගින් පැහැදිලි වූ බැවිනි.

කෙසේ වෙතත් පිටියේ විනිසුරු ඒ සම්බන්ධයෙන් දැනුවත් නොකළ නිසා ගේල් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සංඥා විය. යම් හෙයකින් එය නිපන්දුවක් වූයේ නම් ක්‍රිස් ගේල්ට ඉන් පසු පන්දුව ලැබෙන්නේ දැවී යාම්වලින් ලැබෙන නිදහස් පහරක් (free hit) ලෙසිනි.

-ඕෂිත වරකපිටිය-