පුත්තලම දිස්ත්‍රික්කයට මේ වනවිට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු රැසක් සිදී යැම නිසා එහි ඉදිකර ඇති සිමෙන්ති පොකුණු වෙත බවුසර් වලින් ජලය පිරවීම මේ වනවිට සිදු කරන බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පැවසීය. මේ වනවිට උද්‍යානයේ
ඇති විල්ලු 42ක අතරින්  30කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිදී යාම නිසා  වනසතුන් ආහාර සහ ජලය සොයා සැතපුම් ගණනක් ගමන් කිරීම සිදුවන බවද හෙතෙම පවසා සිටීයේය.

මේ හේතුව නිසා උද්‍යානයේ ඉදිකර ඇති කොන්ක්‍රීට් පොකුණු වෙත වනජීවී නිලධාරින් විසින් දින
කිපයකට වරක් බවුසර් යොදා ගනිමින් ජලය දැමීම සිදුකරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.  දිය පිරවූ පොකුණුවලට කුඩා කුරුල්ලන්ගේ සිට වලහා, මුවා, ගෝනා, දිවියා හා අලියා ඇතුළු අනිකුත් වන සතුන් දිය පානය කිරීමට පුරුදුව ඇති බවද වනජීවී නිලධාරීහු පවසති.

එළුවන්කුලම විල්පත්තු පිවිසුම් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනජීවී අඩවි ආරක්ෂක පී.ඩී.එල්. ලලිත් නිශාන්ත මහතා පවසා සිටියේ උද්‍යානයේ ඇති මෙම කොන්ක්‍රීට් පොකුණු වෙත කලා ඔයේ සිට බවුසර් මගින් කිලෝමීටර් 30කට අධික දුරක් ජලය රැගෙන යාම සිදුවන බවයි. මේ අතර ආනවිළුන්දාව රම්සා තෙත් බිමේ වැව් පද්ධතිය සිදී ගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

හෙක්ටයාර් 1397 විශාලත්වයකින් යුත් ආනවිළුන්දාව රැමිසා තෙත් බිම වැව් පද්ධතියකින් සමන්විත වන අතර වසරේ නොවැම්බර් සිට මැයි වන තෙක් වැව් පද්ධතියේ ජලය පිරී ඇත්තේ පවතින වර්ෂාවෙන් ලැබෙන ජලය එක්රැස්ව තිබීම නිසාවෙනි. පසුව වැසි නොලැබීමත් සමග සෑම වසරකම ක්‍රමයෙන් වැව් සිඳී යාම සිදුවන්නේ මේ සුන්දර අභයභුමියට නිසි ලෙස ජලය ගලා එමේ ක්‍රමවේදයක්
නොමැතිවීම නිසාවෙනි.

අවස්ථා ගණනාවකදී ආනවිළුන්දාවට ජලය ලබාදීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළද මේ වනවිටත් එම සැලසුම් ලිපි ගොනුවලට පමණක් සීමා වී ඇති බව ආනවිළුන්දාවට ඇලුම් කරන්නෝ පවසති. ජලය සිඳී යෑමත් සමග මෙම භූමියේ සැරිසරන පක්ෂින් ක්‍රමයෙන් අතහැර යාම සිදුවන්නේ නැවත ජලයත් ආහාරත් සොයා ගැනීමේ ගැටලුවට මුහුණදෙමිනි .  මේ වනවිට පවතින වියළි කාලගුණය නිසා වැව් පද්ධතියේ ඇතැම් ස්ථානවල සුළු ජලය ප්‍රමාණයක් තිබුණද ඇතැම් ස්ථාන වියළී ගොස් තිබෙන ආකාරය  දැක ගත හැකිය.

-හිරාන් ප්‍රියංකර ජයසිංහ-