සූරියවැව කඳවුර පෙදෙස, 11 කණුව ප්‍රදේශයේදී නවතා තිබූ ත්‍රිරෝද රථයක්‌ මතට ඊයේ (19 වැනිදා) පස්‌වරුවේ විශාල පලු ගසක්‌ කඩාවැටීමෙන් මවක සහ ඇගේ දියණිය සමග තවත් දැරියක්‌ මියගොස්‌ තිබේ.


 අනතුරෙන් මියගිය තිදෙනා එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ත්‍රිරෝද රථය මහමඟ නවතා තිබියදී අනතුර සිදුව ඇත.

 මියගිය මව 31 හැවිරිදි වියේ පසුවන අතර දැරියන් දෙදෙනා වයස අවුරුදු 9 ක්‌ හා 5 ක්‌ වන බව මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

 ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟත් සමග ත්‍රිරෝද රථය මතට ගස කඩාවැටී ඇත.

 සූරියවැව ජාතික පාසලට ගොස්‌ තම දියනියත්, දියනියගේ යාළුවා සහ ඇයගේ මවත් කැටුව පැමිණි ත්‍රිරෝද රථය මෙම අනතුරට මුහුණ දී තිබේ.

 ත්‍රිරෝද රථය පදවාගෙන පැමිණි කාන්තාව කඳවුර පෙදෙසේ පිහිටි අදාළ පලු ගහ යට ත්‍රිරෝද රථය නවතා එය සමීපයේ පිහිටි තම ඥතියකුගේ නිවසට ගිය අවස්‌ථාවේ මෙම අනතුර සිදුවී ඇත.

 මෙම අනතුරින් මියගිය එක්‌ අයෙක්‌ එම ත්‍රිරෝද රියේ රියෑදුරු ලෙස කටයුතු කළ කාන්තාවගේ දියණිය වූ දැහැමි සිත්මි රංජනා නම් දැරියයි. නව හැවිරිදි වියේ පසු වූ ඇය සූරියවැව ජාතික පාසලේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අයෙකි. දියණියගේ පියා හයිටි රාජ්‍යයේ සාම සාධක හමුදාවේ සේවයේ නිරතව සිටින බව වාර්තා වේ.

 ත්‍රිරෝද රථයේ ගමන් ගත් 10 කණුව සූරියවැව පදිංචි 31 හැවිරිදි කේ. එල්. සත්‍යා පුෂ්පකාන්ති සහ ඇයගේ දියණිය වන පස්‌ හැවිරිදි ඩී. නෙත්මි නවෝද්‍යා අනතුරින් මියගිය අනෙක්‌ දෙදෙනාය.

 සූරියවැව රෝහලේ මෘත ශරීර තැන්පත් කර ඇති අතර අනතුර සිදුවූ ස්‌ථානයේදීම ඔවුන් මියගොස්‌ ඇති බව වාර්තා වේ.

 සූරියවැව ප්‍රාදේශීය සභාවේ සේවකයන් පිරිසක්‌ මෙම අනතුර දැක විපතට පත් පිරිස දැඩි පරිශ්‍රමයක්‌ යොදා ඉවතට ගෙන ඇත.

 අනතුර පිළිබඳව සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.