පානදුර උතුර පොලිසියේ තිබූ ටී 56 ගිනි අවි දෙකක් හා මැගසින් දෙකක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙලෙස අස්ථානගතව ඇත්තේ
28039552 අංක දරන ගිනි අවිය හා 28006677 අංක දරන ගිනි අවියයි.

ඉකුත් 4දා රාත්‍රි කාර්ය භාර නිලධාරි ලෙස රාජකාරි කළ පොලිස් පරික්ෂක පී.ආර්.එම්. ධර්මපාල නිලධාරියා රාත්‍රි 10.30ට පමණ ගිනි අවි හා උණ්ඩ පිට කිරීමේ ලේඛනය හා ගිනි අවි බහාලන ආරක්ෂක පෙට්ටියේ තිබෙන
ගිනි අවි සැසඳේදැයි පරීක්ෂා කිරීමේදී මෙම ගිවි අවි දෙක නොමැති බවට ප්‍රථමයෙන් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

2019 මැයි 11 වැනි දින පොලිස් ආරක්ෂක සහායක අනුර (1093) නිලධාරියාට 28093552 අංක දරන ටී 56 ගිනි අවිය රාජකාරි සඳහා අවසන් වරට මුදාහැර තිබී ඇති අතර 2019 මැයි 19දා පොලිස් කොස්තාපල් කුමාරසිරි (41059) නිලධාරියාට 2806677 අංක දරන ටී 56 ගිනි අවිය අවසන් වරට මුදා හැරීමෙන් පසු ඔවුන් දෙදෙනා විසින් ඒවා නැවත භාරදී ඇතැයි අවි හා උණිණ බැහැර කිරීමේ ලේඛනයේ සටහන්ව ඇතැයි දැන ගන්නට ඇති බව පොලිස් නිලධාරියා කීය. එම දිනවලින් පසු කිසිදු නිලධාරියකුට මෙම ගිනි අවි නිකුත් කළ බවට අවි හා උණ්ඩ බැහැර කිරීමේ ලේඛනයේ සටහන්ව නැතැයිද එම නිලධාරියා කීය.

ඉකුත් මස 27දා සහකාර පොලිස් අධිකාරිවරයාගේ මාසික පරික්ෂණ පෙළපාළිය සඳහා මුදාහැර තිබූ ගිනි අවි අතර මෙම ගිනි අවි දෙක තිබුණාද යන්න හා එම ගිනි අවි මුදා හැරීම සම්බන්ධයෙන් අපි උණ්ඩ බැහැර කිරීමේ ලේඛනයේ සටහන් යොදා ඇතිද යන්න පරික්ෂණ පවත්වන නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත. පානදුර උතුර පොලිසිය භාරයේ ආරක්ෂක පෙටිටියේ තිබූ ටී 56 ගිනි අවි 36න් දෙකක් මෙලෙස අස්ථාන ගතවි ඇතැයි උසස් පොලිස් නිලධාරියකු වැඩිදුරටත් පැවැසිය.

-එම්.සී.පෙරේරා-