රාජ්‍ය සේවකයින්ට මේ මාසයේ සිට ලබාදෙන රුපියල් දෙදහස් පන්සීයේ වැටුප් වැඩි වීම, අර්ධ රාජ්‍ය හා සංස්ථා මණ්ඩල සේවකයන්ට ලබානොදෙන බවත්, එබැවින් රාජ්‍ය සේවකයන් ලක්‍ෂ පහකට අධික පිරිසකට
දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් රාජ්‍ය,
පළාත්  රාජ්‍ය, රජයේ වෘත්තීය සංවිධානය පවසයි.

මෙම ක්‍රියාවට එරෙහිව අදාළ සේවාවල වෘත්තීය සංගම් මේ වනවිට විරෝධය පළ කරමින් තිබෙන බවත්, මේ නිසා මේ මස 20 වැනිදායින් පසු රාජ්‍ය සේවය තුළ මෙතෙක් නොතිබූ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ විය හැකි බවත් එම සංවිධානයේ ප්‍රධාන ලේකම් අපිත් තිලකරත්න මහතා සඳහන් කළේය.

ඉතිහාසය පුරාම රාජ්‍ය සේවක වැටුප් හෝ දීමනා ඉහළ දැමීමේදී අර්ධ රාජ්‍ය හා සංස්ථා මණ්ඩල සේවකයන්ගේ වැටුප හා දීමනා ඒ ආකාරයටම ඉහළ ගිය බවත්, එහෙත් මෙවර එම වගකීම කඩකර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

 සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ලක්ෂ 05කට  අධික ප්‍රමාණයක් අර්ධ රාජ්‍ය ආයතනවල හා සංස්ථා මණ්ඩල යටතේ සේවය කරන බවත්, ඔවුන් සියලු දෙනා රජයේ සේවකයන් බවත් එම සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.

එබැවින් රුපියල් දෙදහස් පන්සියයකින් වැටුප් වැඩි කිරීමේ යෝජනාව අර්ධ රාජ්‍ය හා සංස්ථා මණ්ඩලවලටත් බලපාන ආකාරයට වහාම නිකුත් කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.