අමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් කිරීම මඟින් මිලියන 2.9 ක් වන අමෙරිකානු හමුදාවට ඕනෑම අවස්ථාවකදී ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බව  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙන්වා දෙයි.

වත්මන් රජය අමෙරිකාව
සමඟ අස්සන් කිරීමට සැරසෙන සෝෆා, ඇක්සා සහ මිලේනියම් කෝපර්ෂන් යන ගිවිසුම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා  විපක්ෂ නායකවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේදී කොළඹ විජේරාම නිල නිවසේදී පැවැත්වුණි.

සෝෆා සම්මුතියකට එළඹුණහොත් ත්‍රස්තවාදීන්ට මෙරට තුළ නිදහසේ හැසිරීමට ඉඩ කඩ සැලසෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම අමෙරිකානු හමුදාව කුමන වරදක් කළද මෙරට නීතිය ඔවුනට ක්‍රියාත්මක නොවන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙවැනි ගිවිසුමකට අස්සන් කිරිමට මෙරට රජය සුදානමක් නොමැති බවයි.