අනවශ්‍ය ලෙස නඩු ප්‍රමාදවීම වැළැක්වීම සඳහා ඉදිරි දින කිහිපය තුළදී නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අද(05) පැවසීය.


අතුකෝරල මහත්මිය ඒ බව  පැවසුවේ අද මාතලේ නව මහාධිකරණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අග්‍රවිනිශ්චයකාර ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මහාධිකරණය  විවෘත කෙරිණි.

“අධිකරණයේ ස්වාධීනත්වය වැදගත්වෙන්නේ බලය නැතිවිට නෙවෙයි,
බලයේ සිටිනවිටයි. ඒ සඳහා අපට විශාල වැඩ කොටසක් කරන්න වුණා. අධිකරණයට තිබූ නොයෙකුත් බලපෑම් ඉවත්කරන්න අපට හැකිවුණා. විනිශ්චයකාරතුමන්ලාට නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අප අමාත්‍යංශය යටතේ තිබෙන හැම ආයතනයක් සඳහාම ස්වාධීන තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය අවස්ථාව ලබා දුන්නා.

අපේ සමහර පනත්වල තිබෙන පුංචි ගැටලු නිසා සමහර මිනිස්සු දන්නේ නැහැ. මහාධිකරණයෙන් ඇප ගැනීමට තිබෙන අවස්ථා ගැන. ඒ නිසා මම ඉදිරි දින කිහිපය තුළ නව පනත් දෙකක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරනවා. ඒ තුළින් ජනතාවට තම නඩු කටයුතු පහසුවෙන් කර ගැනීමේ අවස්ථාව උදාවෙයි. අපේ අහිංසක ජනතාව බොහෝ කාලයක් මහේස්ත්‍රාත් අධිකරණ තුළ කාලය ගත කරනවා. ඔවුන්ගේ මුළු සේසතම අහිමිවෙනවා. මෙම පනතෙන් ඊට විසඳුමක් ලැබෙයි. අපේ රටේ නඩු ප්‍රමාදවීම් වැඩියි. මේ වනවිට නඩු 750,000ක් පමණ පවතිනවා”  යැයි අමාත්‍යවරිය සඳහන් කළාය.

කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්තික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක හා වනජීවි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ යන මහත්වරු,  පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි විජේරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)