හෙරොයින් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා ජාවාරමේ නිරතව සිටි බව කියන සුරා බඳු දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙක් සහ තවත් පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ
නිවාරණ ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේදී පෙරේදා (3) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මොවුන් දෙදෙනා ළග තිබි සොයාගත් හෙරොයින්වල වෙළඳපොල වටිනාකම රුපියල් ලක්‍ෂ 12ක් පමණ වන බව කියති.

හෙරොයින් මින්ද්‍රව්‍ය ග්‍රෑම් 54ක් සමග
සාජන මේජර්වරයා අත්අඩංගුවට ගෙන ඔහු කැඳවා ගාස් පදිංචි නිවස සෝදිසි කරමින් සිටි අවස්ථාවේ සැකකරුගේ (සාජන් මේජර්) 82 හැවිරිදි මව හදිසියේ රෝගාතුර වි  ඇති අතර ඇය මීගහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලැබුණු තොරතුරක් මත එහි ප්‍රධාන පොලිස් පරික්ෂක නදීක සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් පෙරේදා හෙයියන්තුඩුව ප්‍රදේශයට ගොස් වැටලීමක් සිදුකර යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු සමග හෙරොයින් ග්‍රෑම් 51ක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය ගැන ප්‍රශ්න කිරීමේදී සුරාබදු  දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකුගෙන් මේවා ලබාගත් බව පැවසී යැයි විශේෂ කාර්ය බළකාය පවසයි.

එහිදී විශේෂ කාර්ය බළකා නිලධාරින්
උපායශිලිව සැකකරුගේ ජංගම දුරකථනයන් සුරාබදු හිටපු
නිලධාරියාට කතා කර හෙරොයින් රැගෙන එන ලෙස ඔහුට දන්වා ඇත. එම දැනුම් දිම අනුව හිටපු සුරාබදු නිලධාරියා  හෙරොයින් ද රැගෙන දැනුම් දුන් ස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු රැගෙන ආ හෙරොයින් ග්‍රෑම් 54ක් ද සමහ අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. සැකකරු සුරාබදු දෙපාර්තමේන්තුවේ සාජන් මේජර් නිලයක් දරා මිට මාස දෙකකට පමණ ඉහතදී විශ්‍රාම ලැබූ බව ඔහුගෙන් ප්‍රශ්න කිරිමේදී හෙළි වී තිබේ.

මෙම විශ්‍රාමික නිලධාරියා ද කැටුව විශේෂ කාර්ය‍ බළකායේ නිලධාරිහු ඔහු පදිංචිව සිටි නිවස සෝදිසි කර  කේරළ ගංජා කිලෝ 1 1/2ක් පමණ ද විදුලි තරාදියක් ද සොයා ගත්හ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් නිවස සෝදිසි කරමින් සිටින අවස්ථාවේ සැකකරුගේ (විශ්‍රාමික සාජන් මේජර්) 82 හැවිරිදි මව හදිසියේ ඇති වූ හදයාබාධයක් හේතුවෙන් රෝගාතුර විම නිසා බළකාලයේ  නිලධාරින් ඔවුන්ට අයත් වාහනයකින් කඩිනමින් ඇය මිගහවත්ත රෝහලට ගෙන ගොස් ඇත.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුව මියගිය බව විශේෂ කාර්ය බළකාය කියයි. පුතා පොලිස් අත්අඩංගුවට පත්වීම නිසා ඇති වූ කම්පනය හේතුවෙන් ඇයට වැළඳී තිබූ හෘදයාබාධය උත්සන්න වෙන්නට ඇති බවට විශේෂ කාර්ය බළකාය සැකකරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට වැඩිදුර පරීක්‍ෂණ සඳහා බාරදුන් බව විශේෂ කාර්ය බළකාය කියයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-