එක්සත් රාජධානියේ සිට නිති විරෝධි ලෙස මෙරටට ගෙන්වූ පාවිච්චියෙන් පසුව ඉවත් කරන ලද පරණ මෙට්ට තොගයක් අඩංගු කන්ටේනර් 98ක් කොළඹ වරායේ තිබී ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ (8) අත්අඩංගුවට
ගනු ලැබීය. එම කන්ටේනර්වල තිබී කාපට්, ප්ලාස්ටික් හා පොලිතීන් වැනි ද්‍රව්‍යයන් ද කීටයන්, මැරුණු පැළෑටි, දිලීර හා පක්ෂීන්ගේ පිහාටු වැනි දෑ ද පරීක්ෂණවලදී හමුවී ඇත.මධ්‍යම පරිසර අධිකාරියේ අවසරයකින් තොරව මෙම පරණ මෙට්ට තොගය ගෙන්වා ඇති අතර එය කොළඹ වරායේදී අත්අඩංගුවට ගනු
ලැබුවේ ශ්‍රී ලංකා රේගුවේ සවස ආරක්ෂක අංශයේ පාරීභෝගික ආරක්ෂක ඒකකය විසිනි.

භාවිතයෙන් ඉවත් කරන ලද එම මෙට්ට තොගය කටුනායක ප්‍රදේශයේ ආයතනයක් විසින් මෙරටට ගෙන්වනු ලැබ ඇතැයි පරික්ෂණවලදී හෙළිවූ බව  රේගුවේ සඳහන් කරයි. පාවිච්චි කළ මෙට්ට ආනයනය කරන බවට මෙම ආයතනය රේගුවට ප්‍රකාශ කළ ද ඒවා සියල්ල කුණු ගොඩක් බවට පත්ව ඇතැයි ද රේගුව පවසයි.  කන්ටෙනර් 102ක් මෙරටට ආනයනය කළ බවට මෙම ආයතනය රේටිවට දැනුම් දී තිබුණ ද ඊයේ (8) වනවිට ඉන් කන්ටේනර් 98ක් සොයා ගැනීමට හැකිවී ඇත.

මෙම පාවිච්චි කළ මෙට්ට අඩංගු කන්ටේනර්වල පාරිසරික අන්තරායක ද්‍රව්‍ය කිසිවික් අඩංගු විය හැකි බවට දැයි සැකයක් පවතින බව රේගු පාරිභෝගික ආරක්ෂක ඒකකය පවසයි. මේ අනුව මෙම භාවිත කළ මෙට්ට තොගය අඩංගු කන්ටෙනර් සියල්ල එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරීය රේගුවට දන්වා ඇත.

ආනයනය කරන ලද පාවිච්චි කළ මෙට්ට තොගය හේතූවෙන් විශාල යෞඛ්‍ය හා පාරිසරික අවදානමක් ඇතිවිය හැකි බවත් මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය, එක්සත් ජාතින්ගේ පාරිසරික අංශය හා නිරෝධායතනය පුළුල් විමර්ශනයක් සිදුකරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

-මහින්ද නිශ්ශංක-