ණවටුන රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැඟී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි තරුණයන් සිවු දෙනකු මුහුදට වැටීමෙන් තරුණයන් දෙදෙනකු ඊයේ (16දා) සවස 4.00ට පමණ අතුරුදන් වී ඇත.
ගාල්ල බද්දේගම ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පස් දෙනකුගෙන් යුත් පිරිසක්
මෙසේ දිය නෑම සඳහා උණවටුන රූමස්සල ප්‍රදේශයට ගොස් ඇත.

මෙම පිරිස අතර පිරිමි ළමුන් සිවු දෙනකු සහ එක් ගැහැනු ළමයකු සිට ඇත. මෙම පිරිසේ සිටි පිරිමි ළමුන් සිවු දෙනා රූමස්සල ඇති ගලක් උඩට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කරන අතරතුර පැමිණි රළ පහරකට හසු වී
සිවු දෙනාම දියට වැටී ඇති අතර එහිදී දෙදෙනකු මුහුදට වැටී ගසාගෙන යමින් සිටියදි ගල් පර්වතයක එල්ලී දිවි බේරාගෙන ඇති බවද පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්වී ඇත්තේ බද්දේගම ගිනිමැල්ලගහ පදිංචි නිලංග මලිත් නමැති 20 වියැති තරුණයෙක් හා රවිඳු ප්‍රභාත් නමැති 21 වියැති තරුණයෙකි.

ගල් පර්වතයෙන් ඇද වැටුණු අනෙක් තරුණයන් දෙදෙනා රළ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇත. මොවුන් මෙවර උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් විමට බලාපොරොත්තුවෙන් සිට ඇත. මෙම ස්ථානය දිය නෑම සිදුකරන ස්ථානයක් නොවන අතර මෙම තරුණයන් සිවුදෙනා රූමස්සලට පැමිණ මෙහි ඇති ගල් පර්වතයට නැගි ඡායාරූප ගනිමින් සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙකී ස්ථානය වේගයෙන් රළ පහර වදින ස්ථානයක් වන අතර එය නැරැඹීම සඳහා මෙම තරුණයන් සිවු දෙනා ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී ඇති බවද පොලිසිය පවසයි. මෙම පිරිස උපකාරක පන්ති යන බව පවසා උණවටුන “ජංගල් බිච්” ප්‍රදේශයේ නෑමට පැමිණ ඇති අතර ඒ ප්‍රදේශයේ ගලක් මතට නැග සෙල්ෆි ඡායාරූපයක් ගෙන ආපසු හැරෙන විට රළ පහරකට හසුව ලිස්සා ගොස් මුහුදට වැටී තිබේ.

අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා නාවික හමුදා දක්ෂිණ කඳවුරේ කිමිදුම් කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර හබරාදුව පොලිස් නිලධාරිහුද ඊට සහාය වෙමින් සිටියහ. මෙම ප්‍රදේශය අනතුරුදායක බවත් මීට පෙරද දෙදෙනකු මේ අයුරින්ම මුහුදට බිලි වූ බවත් හබරාදුව පොලිසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

-රසික සෙනවිරත්න-