වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දස වන සැකකරු වන  කරුපයියා රාජෙන්ද්‍රන් අබ්දුල්ලා යන සැකකරු තවදුරටත් ලබන 29 වන දින දක්වා රක්ෂිත
බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පෙරේදා (15දා) නියෝග කළේය.මෙම සැකකරුවන් පිළිබඳව වෙන් වෙන්න වාර්තා කරන ලද සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවද ඉදිරි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.


මෙම නඩුව පෙරේදා දින අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදි ඇප මත මුදාහැර සිටින සැකකරුවන් ඇතුළු සැකකරුවන් දස දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඇප මත මුදාහැර සිටින සැකකරුවන් පිළිබඳව පෙර වැරැදි මේ වනතෙක් තහවුරු වී නොමැති බවත් දැනට බන්ධනාගාරගත කර සිටින කරුපයියා රාජෙන්ද්‍රන් අබ්දුල්ලා නම් සැකකරුට මෙම කර්මාන්ත ශාලාවේ අයිතිකරු වන මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නම් බෝම්බකරු විසින් මුදල් ලබාදී ඇති බවට කරුණු අනාවරණය වුවත් අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් එවැනි මුදල් ලබාගැනීම පිළිබඳ කරුණු අනාවරණය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම මෙම සැකකරුවන් සියලු දෙනාගේම බැංකු ගිණුම් පිළිබඳව වාර්තා ලබා ගැනීම සඳහා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ අස්සනින් යුතු ලිපියක් යොමුකර ඇති බවත් ඒ පිළිබඳව තවම වාර්තා ලැබි නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියේය.

තවද දස වන සැකකරු වන කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා ළඟ තිබි ජංගම දුරකතන නවයක් සොයාගත් බවත් ඒවා පරික්ෂණ සඳහා යවා ඇති බවත්

ඒ පිළිබඳව වාර්තාද තවම ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියේය.එසේ ඇපමත මුදාහැර සිටින සැකකරුවන් පිළිබඳ නඩුව නැවත කැඳවීමට දිර්ඝ දිනයක් ලබා දෙන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම සියලු කාරණාවන් පිළිබඳව සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුවේ ඇප මත මුදාහැර සිටින සෙයියදු අලි මොහොමඩ් අපිල්, මහාවංශ මුදියන්සේල්ලාගේ සමන්ත, මොහොම්මදු වංගීර් මොහොම්මදු ලාහිර්, මොහොමඩ් සාලීහු, මොහොමඩ් අරුල්, මොහොමඩ් අස්වාන්, මොහොමඩ් අක්‍රම්, සලිම් සන්හීම්, මොහොමඩ් හිදාර්, මොහොමඩ් සුමෙයි, රෙන්ෂන් ගෝවින්දසාමි හා හකීම් අබ්දුල් මස්ලිම් යන සැකකරුවන්ට නැවත ලබන ඔක්තෝබර් 07 වන දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කළේය.

-හංසි නානායක්කාර-