කළුතර සිට කතරගම දක්වා ප්‍රදේශ තුළ පිහිටා ඇති රාජ්‍ය ආයතනයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවට රජයේ ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව පවසමින් රුහුණු
විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා නිකුත් කළ ලිපියේ සඳහන් තොරතුරු සාවද්‍ය බවත් ආරක්ෂක අංශවලට එවැනි තොරතුරක් සනාථ වී නොමැති බවත් ඊයේ (8)  කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.

බෝම්බ ප්‍රහාර එල්ල වීම පිළිබද තොරතුරු මත විශ්වවිද්‍යාලය මගින් පනවා ඇති ආරක්ෂක ක්‍රියාමාර්ග විධිමත්ව අනුගමනය කරන ලෙස උපකුලපතිවරයා දැනුම් දෙන බව පවසමින් රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් වන්දන මහතා විසින් මෙම ලිපිය නිකුත් කර තිබේ. ආරක්ෂක අංශ නිරන්තරයෙන් මහජන සුබසිද්ධිය උදෙසා  කටයුතු කරන බවත් එවැනි තොරතුරක් ලද විගස ජනතාව ආරක්ෂා කිරීමේ ඉදිරි කටයුතු සම්පාදනය කිරීමට ආරක්ෂක අංශ සූදානමින් සිටින බවත් අනවශ්‍ය කටකතාවලට
නොරැවටෙන ලෙසත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

-නිර්මාණි බණ්ඩාරනායක-