සොරකම් කළ ත්‍රීරෝද රථය සහ සොරකමට සම්බන්ධ බව කියන තිදෙනා හැකිනම් අත්අඩංගුවට ගන්නැයි දුරකතනයෙන් පොලීසියට අභියෝග කළ සොර කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (24) මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.
ත්‍රිරෝද රථයේ අයිතිකරු පොලිසියට කළ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරින් අදාළ මූල්‍ය ආයතනයට ගොස් එම ආයතනයේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බලා එම ආයතනය වෙත ලබාදුන් දුරකතන අංකයට පොලිස් නිලධාරීන් ඇමතුමක් ලබාගැනීමේ දී එම ඇමතුම ලබාගත් ත්‍රිරෝද රථය සොරාගත් අයෙකු බවට සැක කෙරෙන කෙනෙකු හැටන් පොලිසියේ නිලධාරින්ට පවසා ඇත්තේ තමන් ත්‍රිරෝද රථය සොරාගත් බවත්, හැකිනම් ත්‍රිරෝද රථය සහ තමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්ය.

හැටන් නගර මධ්‍යයේ ප්‍රධාන පෞද්ගලික
මූල්‍ය ආයතනයක් ඉදිරිපිට ගාල් කර තිබූ රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා මෙම ත්‍රිරෝද රථය සොරාගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

හැටන් නගරයේ දුම්රිය පාලම ඉදිරිපිට රථගාල් මෙම ත්‍රිරෝද රිය නතර කර තිබියදී පෙරේදා (23) දහවල් 2ට පමණ තිදෙනකු පැමිණ සොරාගෙන ගොස් ඇත.

රියේ අයිතිකරු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ත්‍රිරෝද රථ අයිතිකරු මුණගැසීමට පෙරේදා (23) උදෑසන පැමිණි නාදුනන තිදෙනකු ත්‍රිරෝද රථය අළෙවි කරන බවට ලද තොරතුරක් මත පැමිණිය බවත්. ත්‍රිරෝද රථය අළෙවි කරනවා නම් එය අද දිනම මිල දී ගැනීමට සූදානම් බවත් එම තිදෙනා ත්‍රිරෝද රථයේ අයිතිකරුට පවසා ඇත.

 එහිදී අයිතිකරු ගැනුමකරුවන්ට පවසා ඇත්තේ තමන්ගේ අතට රුපියල් එක්ලක්ෂ විසිදහසක මුදලක් දී ත්‍රිරෝද රථයේ පෞද්ගලික මූල්‍ය ආයතනයට
ගෙවීමට ඇති ඉතිරී වාරික ගණන ගෙවන්නේ නම් ත්‍රිරෝද රථය අද දිනම අළෙවි කළ හැකි බවයි.

ඒ අනුව දෙපාර්ශවයම එකඟතාවට පත් වී හැටන්  නගරයේ පිහිටි අදාළ මූල්‍ය ආයතනයට පැමිණ ත්‍රීරෝද රථය මිල දී ගන්නා බව පැවසූ තිදෙනාගෙන් එක් අයෙකු ඔහුගේ ජංගම දුරකතන අංකය මූල්‍ය ආයතනයට ලබාදී අදාළ ත්‍රිරෝද රථයේ ගෙවිය යුතු ඉතිරි වාරික ගණින ගණනය කර දැනුම් දෙන ලෙස පවසා ත්‍රිරෝද රථයේ අයිතිකරු අදාළ මූල්‍ය ආයතනයේම නතර කර හැටන් නගරයට ගොස් යළි මූල්‍ය ආයතනයට පැමිණෙන බව දන්වා ඔවුන් තිදෙනා පිටව ගොස් ඇත.

මූල්‍ය ආයතනයෙන් පිටතට ගිය තිදෙනා දිගු වේලාවක් මූල්‍ය ආයතනයට නොපැමිණි නිසා ත්‍රිරෝද රථයට අයිතිකරු තම ත්‍රිරෝද රථය ගාල්කර තිබූ ස්ථානයට පැමිණ පරික්ෂා කර බැලීමේදී එම ස්ථානයේ එය නොතිබුණු නිසා හැටන් පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය, අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂන ආරම්භ කර ඇත.

(රංජිත් රාජපක්ෂ)