ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු නිල නිවෙසේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල් කෙනකුගේ මුහුණට කතුරකින් ඇන තුවාල කිරීමේ සිද්ධියකට එම නිල නිවෙස්ම රාජකාරියේ යොදවා සිටි තවත් පොලිස්
කොස්තාපල් කෙනකු බදුල්ල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල් පෙරේදා (06දා) බදුල්ල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. පසුගිය සිකුරාදා (05දා) රාත්‍රියේ
විනිසුරුවරයාගේ නිල නිවෙසේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල් කෙනකු බීමතින් සිටින බවට පොලිසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස කතුරු පහරට ලක්ව තුවාල ලබා ඇත්තේ බදුල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන ඩී.එම්. සෝමපාල නමැති පොලිස් කොස්තාපල් කෙනෙකි. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කොට ඇත. පොලිස් කොස්තාපල් දෙදෙනා අතර ඇති වූ මෙම ගැටුම සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ අභ්‍යන්තර විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

-ඒ.අයි.හසන්-