යම්කිසි අවස්ථාවක් ලැබුණු විගස රටේ පවුල් ලක්ෂ 61ක පුරවැසියන් ලක්ෂ 220කගේ පූර්ණ කාලීනව දවස් 365 පැය 24 පුරා පොදු ජන සේවකයා බවට පත්වන්නට තමා සුදානම් බවත්, ඒ බව දිවංගත තම පියාගේ
නාමයෙන් දිවුරා පොරොන්දු වන බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හා නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ  (7) මාතර දී පැවැසීය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ
''ඛේමාගේකොලුවා දේශපාලනයේ දශක තුනක්''  යන මැයෙන් වූ චරිතාපදාන උත්සවයේ දී ඔහු ඒ බව කීය.

රුහුණ විශ්වවිද්‍යාලයේ රවින්ද්‍රනාත් තාගෝර් රංග ශාලාවේ දී එම උත්සවය පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා කියා සිටියේ, මේ දිනවල විවිධ පුද්ගලයින් හා විවිධ කණ්ඩායම් තමා පිළිබඳව තම හැසිරීම ගැන අපූරු විග්‍රහයන් සිදු කරන බවත්, නිදහස් ශ්‍රී ලංකාවේ ඒ ඕනෑම පුද්ගලයකුගේ චරිතයක් සහමුලින්ම ඝාතනය කිරීමට කියැවීමේ හා ලිවීමේ නිදහසක් ඇති බවත්ය.

ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳව ඇතැම් කොට්ඨාස පටු අර්ථකථන නිකුත් කරන බව කී ප්‍රේමදාස මහතා. රටේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු දෙනා එක්වී විවිධ පැතිකඩ ඔස්සේ ක්‍රියා කළ යුතු බව කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා කියා සිටියේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වෙළෙඳපොළ බලවේගවලට පමණක් නොහැකි බවත් ඒ ගැන හැම පැතිකඩකින්ම විශ්ලේෂණය කර වෙළෙඳපොළ බලවේග ධන උත්පාදනයටත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් උත්පාදනය කරගත් ධනය රටේ පොදු ජනතාවට බෙදී  යන සේ මිශ්‍ර ආර්ථික මොඩලයක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවත්ය.

ඊට ප්‍රතිචාර
ලෙස සිය ස්තුති කතාව පවත්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අනාගතයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිපත්තියෙන්  පොඩ්ඩක් මාතර දී ප්‍රකාශ කිරීම් ගැන සජිත් ප්‍රේමදාය මහතාට ස්තුතිවන්ත වන බව කීය.

බොහෝ අය තමා ඊළඟ ඡන්දයට ඉදිරිපත් නොවන බවට ප්‍රචාර පතුරුවන බවත් තමාට වයස දැන් 63ක් නිසා ඊළග ඡන්දයටත් තරග කර තව වසර පහක් මාතර ජනතාවට සේවය කර දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත්  සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක හා හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, රාවය පුවත්පතේ නිර්මාතෘ වික්ටර් අයිවන් යන මහත්වරු ද අදහස් පළ කළහ.  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට සුබ පැතීම සඳහා මැති ඇමැතිවරුන්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරාධිතයෙන්  ඇතුළු දහසකට අධික පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

-ක්‍රිෂාන් ජීවක ජයරුක්-