https://www.gossiplankanews.com/2019/07/14-car-free-cmb.html
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෝටර් රථ රහිත දිනයක් (Car-Free Day (CFD)) පැවැත්වීමට කොළඹ මහ නගර සභාව සහ නෙදර්ලන්ත තානාපති කාර්යාලය එක්ව සැලසුම් කර තිබෙන බව පසුගියදා වාර්තා විය.
ඒ අනුව, Car Free CMB වැඩසටහන 2019 ජූලි මස 14දා පෙ.ව.6.00 සිට දහවල් 12.00 දක්වා නිදහස් මාවතේ සිට ග්‍රීන්පාත් දක්වා පැවැත්වීමට නියමිත බව
මාධ්‍ය හමුවකදී අනාවරණය කෙරිණි.
එහිදී, පදිකයන් ලෙස හෝ පාපැදි හෝ ස්කේට්බෝඩ් වැනි යාන්ත්‍රික නොවන ගමනාගමන ක්‍රම මගින් මෙම වැඩසටහන සමග එක්විය හැකි අතර, අදාළ ප්‍රදේශ තුළ ඇවිදීමට, ව්‍යායාම කිරීමට හෝ ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතින බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.


ග්‍රීන් පාත් සිට මහජන පුස්තකාල වටරවුම දක්වා, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මාවතේ කොටසක් සහ නිදහස් මාවත ප්‍රදේශය මෙම වැඩසටහනට ඇතුළත් වන අතර, එදින රථවාහන පදවන්නන් භාවිත කළ යුතු විකල්පව මාවත් පැහැදිලිව දැක්වෙන සංඥා පුවරු ප්‍රදර්ශන කෙරෙන බව සඳහන් විය.

එමෙන්ම, Car Free CMB වැඩසටහන සඳහා ඇතුළුවීමේ ගාස්තුවක් අය නොකෙරෙන අතර, වැඩසටහනට සහභාගී වන්නන්ට ගුඩ් මාකට් පරිශ්‍රය වෙත පැමිණ භාණ්ඩ මිලදී ගැනීමට, ග්‍රීන්පාත් හිදී සංගීතයට සවන්දීමට, චිත්‍ර නැරඹීමටත් අවස්ථාව උදාවන බවද සඳහන් විය. මීට අමතරව, ව්‍යායාම, යෝග අභ්‍යාස සහ වෙනත් ශාරීරික සුවතා ක්‍රියාකාරකම්ද සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනී ජොඈන් ඩූන්වර්ඩ් මහත්මිය මෙම කර්තව්‍යය සඳහා කොළඹ පුරපතිනියව බොහෝ සේ දිරිගන්වා ඇති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, ‍එහිදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ මේ උත්සාහය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා ජනතාව පෙළඹවීමක් බවයි.
මේ අතර, පුරපතිනී රෝසි සේනානයක මහත්මිය කියා සිටියේ ඉදිරියේදී මෙම වැඩසටහන කොළඹ තවත් ස්ථාන වෙතත්, දිගින් දිගටමත් පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.