නිට්ටඹුව නගරයේ වර්ණාලෝක සංඥා අසල ඉදිකොට ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රුවට හානිවන අයුරින් ඉකුත් 30 වැනිදා රාත්‍රියේ කිසියම් පිරිසක් තීන්ත ආලේප කර ඇති බවට නිටිටඹුව තරුණ බෞද්ධ සංගමය විසින් පොලිසියට කළ දැනුම් දිමකින් පසු සිද්ධිය සම්බන්ධව නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ
ආලේපිත කර තිබූ රත්රන් වර්ගය මතුපිටින් සුදු සහ කළු වර්ණය අක්‍රමවත්ව ආලේප කර තිබෙන අයුරු දැකගත හැකි වන අතර ඇසින් දුටු අයකු පැවැසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සේ උපකරණයක් භාවිත කරමින් මෙසේ තීන්ත ආලේප කිරීම සිදුකළ බවයි.

පිළිම වහන්සේ මීට වසර 10කට පමණ පෙර නිට්ටඹුව එක්සත් වෙළෙඳ සංගමය විසින් ඉදිකෙරුණු බවත් නගර වැසියන් වෙළෙඳ මහතුන් ඇතුළු එම ස්ථානයෙන් ගමන් ගන්නා බොහෝ ජනතාව බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳපුදා ගත් බවත් එම වෙළෙඳ සංගමයේ ලේකම් එම්.ඒ. චන්ද්‍රසිරි මහතා අප සමඟ පැවැසිය.

පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ අංශය විසින් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර නිටිටඹුව පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

-ඉන්දික තුෂාර-