සිංහලයකු සමඟ විවාහවීම නිසා ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුස්ලිම් කාන්තාවකට අමානුෂික ලෙස පහරදී පසුව ඇඳ සිටි ඇඳුම්ද ඉරා දමා දස වධ දෙමින් මහ මඟ දිගේ ඇදගෙන ගොස් තිබේ. සෙනඟ දෙනෝදාහක් බලා සිටියදි කළ මෙම තිරිසන් ක්‍රියාව විඩියෝ පටිගත කර
ඇති අතර තමන්ට නීතියේ සාධාරණය ඉටු කර දෙන මෙන් හිංසනයට පත්වූ අබ්දුල් හසන් ෆාතිමා ෆයිසර් (38) මහත්මිය කිරුළපන පිහිටි බොදු බල සේනා කාර්යාලයේ ඊයේ (02දා) පැවැති මාධ්‍ය හමුවකදී හඩා වැළපෙමින් ආයාචනාවක් කළාය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද පැවැසුවාය.

“මගේ ගම පානදුරේ, බණ්ඩාරගම, අටළුගම. තාත්තා මිය ගිහින්. අම්මයි මායි තනිවම ජීවත් වුණේ. අපේ ගම මුස්ලිම් ගමක්. සියයට අනූවක්ම ඉන්නේ 5 ශ්‍රේණියෙන් ඉහළට ඉගෙන ගත් අය නොවේ. නමුත් අම්මා මට හොඳට ඉගැන්නුවා. මම රැකියාව කරද්දි දැන හඳුනාගත් සිංහල
තරුණයෙක් සමග විවාහ වුණා. සැමියාගේ ගම කුරුණෑගල. අපේ විවාහයට ගෙවල්වලින් බාධාවක් තිබුණේ නැහැ. මහත්තයා මට හරිම ආදරෙයි.

මගේ අම්මා ගෙදර තනියම නිසා කසාද බැන්දට පස්සේ මහත්තයත් අපේ ගෙදරම නැවතිලා රැකියාවට ගියා. මෑතක ඉඳලා අපේ ගම වන අටළුගම ඉස්ලාමිය අන්තවාදීන්ගේ යටතට අරගෙනයි තිබෙන්නේ. ගමේ රජ කරන්නේ ඔවුන්ගේ පාලනය. ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ නීතිය. මේ අන්තවාදී කණ්ඩායම් ඇවිත් මට බල කළා සිංහල මිනිහව අයින් කරපන් කියලා. උඹ බඳින්න ඕනා ගමේ මුස්ලිම් මිනිහෙක් කියලා. මට මගේ මහත්තයව අයින් කරන්න බැහැ. මම එයාට හරිම ආදරෙයි.

මෙහෙම ඉන්න කොට පසුගිය මාර්තු මාසේ 24 වැනිදා රෑ 8.00ට විතර දෙසීයක විතර ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් ගේ වටකළා. වරෙන් පල්ලියට යන්න දඩුවම් කරන්න කියලා කිව්වා. මම දොර ඇරියේ නැහැ. බණඩාරගම පොලිසියට කතා කළා. 119ට කෝල් කරලත් කිව්වා. මිනිස්සු දොරවල් කඩාගෙන ගේ ඇතුළට ආවා. මට හොඳටම ගැහුවා. පස්සේ ඇඳුම් ඉරලා දැම්මා. තව විවිධ කරදර කළා. මම අඩලා අත්දෙක උස්සල වඳිද්දි මාව එළියට ඇදල ගත්තේ පොලිසියත් බලාගෙන ඉදිමයි.

දෙසියකට වැඩි පිරිමි කටිටියක් හිටියා. මාව පාරදිගේ ඇදගෙන ගියේ ගල් ගහ ගහ. මුළු ගමම පාර දෙපැත්තට වෙලා බලාගෙන හිටියා. මම කෑගහල කිව්වා මට මෙහෙම වධ දෙන්නේ නැතිව මරලා දාන්න කියලා. ගෙදර අයගේ කැමැත්තෙන් මම ආදරය කරපු සිංහල තරුණයා කසාද බැන්දට මට ලැබුණේ ගල් යුගයේත් දිලා නැති දඩුවම්. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. පොලිසිය කිව්වේ ජීවත් වෙන්න පුළුවන් පැත්තකට ගිහින් ජීවත් වෙන්න කියලයි. අද මම අසරණයි. මෙම අවස්ථාවට ඇගේ සැමියා වූ සම්පත් ගුණතිලක මහතාද පැමිණ සිටියේය.

-සපුමල් ජයසේන-