ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කොට සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට ඊයේ (02දා) සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බංඩාර බලල්ලේ මහතා මරණ දඩුවම නියෝග කළේය.

 සිය බිරිද ඝාතනය කිරීම, බිරිඳගේ මවට බරපතළ තුවාල සිදු කිරීම, සිය දරුවන් දෙදෙනාට බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනා හතර සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණු අතර, චෝදනා හතරටම විත්තිකරු වැරදිකරු කළ මහාධිකරණ විනිසුරුවරයා පළමු
චෝදනාවට මරණ දඩුවමද, දෙවැනි, තුන්වැනි හා සිවුවැනි චෝදනාවලට රුපියල් 10,000 බැගින් රුපියල් 30,000ක දඩ මුදලක්ද, දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 06 බැගින් බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කළේය.

මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ හෙම්මාතගම පොලිස් වසමේ අංක 10/1, අරණායක පාර, හෙම්මාතගම ලිපිනයේ පදිංචි මොහොමඩ් ෆාරුක් මොහොමඩ් මුස්තාපා නමැති 50 හැවිරිදි තිදරු පියකුටය.

මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ මොහාමඩ් මිහීලා තාහිරා සිරින් නමැති කාන්තාවකි.  සිය බිරිඳ ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බවට විත්තිකරු කලක සිට දැනගෙන සිට ඇති අතර, විත්තිකරු අවස්ථා කිහිපයකදීම හෙම්මාතගම පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත්, පොලීසිය දෙපාර්ශවයම කැඳවා ගැටලුව සමථයකට පත් කරගත් බවත් පොලීසිය පවසයි.

සිද්ධිය වූ 2012 ජනවාරි 14 දින විත්තිකරු බිරිද හා  දරුවන් පදිංචිව සිටින හෙම්මාතගම අරණායක පාරේ නිවසට පැමිණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවත්, විත්තිකරුගේ බිරිඳට අමතරව මෙම ප්‍රහාරයෙන් බිරිඳගේ මවත්, දරුවන් දෙදෙනෙකුත් පිලිස්සුම් තුවාල ලබා හෙම්මාතගම රෝහලට ඇතුළත් කර, පසුව මාවනැල්ල රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කොට ඇති අතර, විත්තිකරුගේ බිරිඳ එදිනම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය පචසයි.

පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර කලක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අනතුරුව මාවනැල්ල අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමු කොට අධිචෝදනා හතර යටතේ 2013 වර්ෂයේ සබරගමුව පළාත් බද කෑගල්ල මහාධිකරණය වෙත විත්තිකරු යොමු කොට තිබුණි.


-චමින්ද ජයලත්-