රාජ්‍ය නිලධාරීන් විදේශ පුහුණු පාඨමාලා සඳහා සහභාගී වීමේදී මහා භාණ්ඩාගාරය මගින් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන නතර කර තිබේ.  කෙටි කාලීන පාඨමාලා සඳහා රාජ්‍ය නිලධාරින් විදේශගත වීමේදී ඔවුන්ගේ ගුවන්
ටිකට් පත්,
පාඨමාලා ගාස්තු සහ නවාතැන් ගාස්තු ආදීය රජය මගින් දැරූ අතර ඒ සියලු දීමනා නනර කරන බවද විදේශගතවන නිලධාරියෙකුට මින් ඉදිරියට ලබා දෙන සංයුක්ත දීමනාව පමණක් ලබා දෙන බවද මුදල් අමාත්‍යනාංශය කියයි.

ඇතැම් රාජ්‍ය ආයනන රජයේ නිලධාරීන්ට කෙටි කාලීන විදේශ පුහුණුව ලබාදීමේ වැඩසටහන් සංවධානය කරන අතර ඔවුන් ඒවා ජාවාරමක් බවට පත්කරගෙන ඇතැයි ද බොහෝ පාඨමාලාවල ඵලදායිතාව සොයා බැලීමක් නොකරන බවද මුදල් අමාතයංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

රජයේ පරිපාලන නිලධාරින් සහ ගණකාධිකාරිවරුන් මෙවැනි විදේශ පුහුණු පාඨමාලා සඳහා වැඩි වැඩියෙන් සහභාගී වන බවද ඔහු කීය. රාජ්‍ය නිලධාරින්ගේ අත්‍යවශ්‍ය පුහුණු පාඨමාලා සහ රජය මගින් අනුමත පුහුණු පාඨමාලා සඳහා සහභාගීවන්නන්ට එවැනි වියදම් කපා හැරීමක් සිදු නොවන බවද එම ප්‍රකාශකයක පැවසිය.

මෙවැනි විදෙස් පාඨමාලා සඳහා රජයට වසරකට රුපියල් මිලියන 800ක පමණ මුදලක් වැය කිරිමට සිදුවේ.

(රංජන් කස්තුරි)