ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් නාය යාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යාපාරිකයාගේ සිරුර යුධ හමුදාව පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව සිදු කළ මෙහෙයුමකදී නාය යාමෙන් කඩා වැටීමට ලක් වු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තිබී සොයාගෙන ඇත.


මෙසේ සොයාගෙන ඇත්තේ නාය යාමට ලක් වු වෙළඳසැල් 10 න් මුළුතැන්ගෙයි උපකරණ අලෙවිසැලක අයිතිකරු වන අඹගමුව ප්‍රදේශයේ පදංචි කාල්ඩින් මෙහොමඩ් ජමල්දින් නැමති 64 හැවිරිදි අයෙකුගේ සිරුරයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නාවලපිටිය මුලික රෝහල වෙත යවා ඇත.

නාය යමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නාය යාමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට ප්‍රථම හඳුනාගෙන එම වෙළදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්ථා කිහිපයකදී දැනුම් දී තිබුණි.

ගිනිගත්හේන පොලීසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසක් මෙසේ නාය ගොස් ඇත.

ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නාය යාමේ අවධානමක් පවතින බැවින් පොලීසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොළ දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා ඇත.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙස ගිනිගත්හේන පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.