පාසල් ගමන අතහැරදමා මාස දෙකක කාලයක සිට සිය මව සොයා රට පුරා සංචාරය කරන දස හැවිරිදි දරුවකු ඊයේ(17දා) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේදී හමු විය.

දඹුල්ල ලෙනදොර සේරුගස්යාය ප්‍රදේශයේ පදිංචි සුපුන් ලක්ෂාන් (10) සිය මිත්තණිය වත බී.පී.රංමැණිකේ මහත්මිය සමග සිය මව සෙවීමේ කාර්යයේ නිරතව සිටියි.

සිය මව වන එම්.එම්.කමලා රාංජනී (37) මහත්මිය සොයා දෙන්නැයි මොහු සිය මිත්තණිය සමග මාධ්‍යවේදී සහයෝගය පතා දඹුල්ලට පැමිණි බවද පවසා සිටියේය.
සිය මවගේ ඡායාරූපයක් පෙන්වමින්  ඔහු කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ නිවසක සේවය කරමින් සිටි තම මව ගැන කිසිදු තොරතුරක් නොමැති බවය. එමෙන්ම තම මව සොයා දෙන්නැයි ඉල්ලා නවුල , මැදිරිගිරිය සහ දියසෙන්පුර යන පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කළ බව පවසා සිටියේය.

 කුඩා කාලයේ සිටම පියා අහිමිව සිය මිත්තණියත් සමග ජීවත් වූ බවත් ඔහු සඳහන් කළේය. මෙම දරුවාගේ මිත්තණිය හඩාවැටෙමින් කියා සිටියේ තම දියණිය කිසිමදාක මේ ආකාරයෙන් අතුරුදන් වීමක් හෝ දරුවාට සහ තමාට මුදල් ලබා නොදී සිට ඇති බවයි. කිසියම් කරදරයක් සිදුවූයේද යන්න තමා සැකකරන බව ඇය හඬා වැටෙමින් කියා සිටියාය. මොවුන් විසින් කමලා රංජනී යන අයගේ ඡායාරූපයක් පෙන්වමින් ඉල්ලා සිටියේ ඇය පිළිබඳ තොරතුරක් ඇත්නම් 076- 2116193 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි.


 -එස්. කරුණාරත්න-