පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින 'මිල්කෝ ' සමාගම එම විෂය භාර අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සහෝදරියකගේ පුතකු යොදවාගෙන පෞද්ගලික අංශයට විකිණීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන යන බව "මිල්කෝ" ආයතන සුරැකීමේ සංවිධානයේ හා 'කිරි ගොවීන් සුරැකීමේ මධ්‍යස්ථානයේ'
ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක
නාමල් කරුණාරත්න යන මහත්වරු චෝදනාවක් කරති.

ඒ සඳහා අවශ්‍ය සියලුම සැලැසුම් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් "මිල්කෝ" ආයතනය සහ තවත් රජයේ ආයතන 9ක්
මෙසේ පෞද්ගලික අංශයට විකිණීමට යෝජනා කර ඇති බවත් ඔවුහු සඳහන් කරති. එහි ප්‍රථම පියවර යටතේ  "මිල්කෝ" ආයතනය පාඩු ලබන්නේ තත්ත්වයට මෙම රජය විසින් ඇද දැමූ බවත්, පසුව රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් යොදවා නඩත්තු කරමින් සිට වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ පාඩු ලබන ආයතන පෞද්ගලික අංශයට ලබාදීමට අදාළව ප්‍රතිපාදන සකස් කරමින් සිටින බවත් ඔවුහු පවසති.

ඒ හරහා රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් යොදවා පවත්වාගෙන යන සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමට සුදානම් වන බවත්  'මිල්කෝ' ආයතනය එයින් ප්‍රමුඛ ආයතනයක් වන බවත් පෙන්වා දෙන නාමල් කරුණාරත්න හා සුසන්ත කුමාර නවරත්න මහත්වරු 'මිල්කෝ' සමාගම රජය සතුව පැවතීම නිසා කිරි ගොවින්ට නිසි මිලක් නිර්මාණය වන බවත් ලංකාවේ කිරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමීමට  සියලු ආණ්ඩු කටයුතු කළ බවත් පැවැසූහ.

එසේම මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට කිසිදු ආකාරයකට ඉඩ නොදෙන  බවත් එම සංවිධායකවරු පැවැසූහ. මේ පිළිබඳව 'මිල්කෝ ' සමාගමේ සභාපති කීර්ති මිහිරිහපැන්න මහතාගෙන්කළ විමසීමකදී  ඔහු සඳහන් කළේ "මිල්කෝ ආයතනය කිසි දිනක පෞද්ගලීකරණය නොවන බවයි.

-නුවන් හේට්ටිආරච්චි-