ඒස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලට ගැනීමේ ගනුදෙනුව දූෂිත බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පවා අනාවරණය කොට ඇති හෙයින් එම දූෂිත ගනුදෙනුව වහා විගණකාධිපති විමර්ශනයට ලක්කොට කඩිනමින් ඒ පිළිබඳ වාර්තාවක් නිකුත් කරන්නැයි “දූෂණ විදුනෙතින්" සංවිධානයේ ලේකම් ඉන්ජිනේරු අනිල් රණසිංහ පවසයි.

ඒස් ඇඹිලිපිටිය බලාගාරයෙන් හදිසි විදුලිය මිලට ගැනීම නිසා රටට අහිමිව යන මුදල රුපියල් මිලියන 4700ක් බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ ගනුදෙනුව සිදුකළ ක්‍රියාවලිය විදුලිබල පනතට පටහැනිව ක්‍රියාත්මක වී ඇති බවට ප්‍රකාශ වී ඇති බවද ඔහු කිව්වේය.

මේ බලාගාරයෙන් දස වසරක් විදුලිය මිලට ගෙන 2015 වසරේදි එම ගිවිසුම අහෝසි වීමෙන් පසුව නීති ප්‍රකාරව එය ලංවිමට මිලට ගැනීමේ හැකියාවක් පවතින හෙයින් බලාගාරය රුපියල් මිලියන 2350කට මිලට ගැනීම සඳහා 2016 වසරේදී කැබිනට් අනුමැතිය හිමි වූ බවද හෙතෙම පැවැසිය.

බලාගාරයේ හිමිකාරිත්වය සහ රජයේ තක්සේරුව අතර පවතින වටිනාකමේ සුළු වෙනස උපයෝගී කරගනිමින් එය සාකච්ඡා මාර්ගයෙන් විසදා නොගෙන 2016 සිට එම බලාගාරයෙන්ම විදුලිය වසර 2කදී මිලට ගැනීම දිර්ඝ කර ගෙන ඇති බවත් ඒ නිසා මසකට මිලියන 76 බැගින් 24 වතාවත් ගෙවීම් සිදු කර ඇති බව කෝප් වාර්තාවේදී සඳහන් බවත් ඉන්ජිනේරුවරයා කීවේය.

එම බලාගාරය හිමි ආයතනය 2015 දී පාඩු ලැබුවද ඔවුන්ගේ 2015-2016 වාර්ෂික වාර්තාවේ ඔවුන් රුපියල් කෝටි 110ක් ලාභ ලබා තිබෙන බවත් ඔහු කීවේය. එසේ වී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලංවීම එම බලාගාරයේ සිදුකළ හදිසි මිලට ගැනීම් නිසා බවද ඔහු කීවේය. එසේ තිබියදී හදිසි මිලට ගැනීම් යටතේ තවත් වසර 3ක් සඳහා ගිවිසුම් අස්සන් කිරීම කෝප් කමිටුව කම්පනයට පත්වන කරුණක් යැයිද හෙතෙම පැවැසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පිටුපාමින්, විදුලිබල පනතට විරුද්ධව කටයුතු කරන විදුලිබල අමාත්‍යාංශයේ අත්තනෝමතික පාලනය පිළිබඳවත්, මහජන මුදල් දුෂිත ලෙස රැස්කර ගනිමින් එම මුදල් කිනම් කරුණු අරභයා වියදම් කරන්නේද යන්නත් විමර්ශනයකට ලක් කළ යුතු බවද ඉන්ජිනේරුවරයා කීවේය. ඊයේ (11දා) බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ පැවැසුවේය.

-හර්ෂනී අර්සකුලරත්න-