https://www.gossiplankanews.com/2019/07/doctor-nurse-fight.html
මාට අපහාස වන පරිදි හෙදියන් පිරීසක් විසින් ලිපියක් බෙදාහැරීම නිසා සිදු වූ හානිය වෙනුවෙන් එක් අයකුගෙන් රුපියල් පන් ලක්ෂය බැගින් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා කරාපිටිය රෝහලේ හෘද හා උරස්
විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා හෙදියන් විසිහත් දෙනකුට එරෙහිව පවරා තිබූ අලාභ නඩුව ගාල්ල දිසා විනිසුරු නිල්මිණී විතාරණ  මහත්මිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ රුපියල් පනස් දහස බැගින් වන්දි ගෙවා සමථයට පත්විමට වග උත්තරකාරියන් දොළොස් දෙනකු එකගතාව පළ කළ අතර
ඒ අනුව සමථ කොන්දේසි ඉදිරිපත් කිරීම  විනිසුරුවරිය අගෝස්තු 8 වැනිදාට කල් තැබුවාය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා  ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස එම ඒකකයේම අය කළ හෙදියන් විසිහත්  දෙනකු නම්කර තිබිණි.

ආදායම් විෂමතාවක් මත රාජකාරී වේලාවෙන් පසුව සිදු කරන ශල්‍යකර්මවලින් 2003 මැයි පළමුවන දින සිට ඉවත්වී ඒ බව විශේෂඥ ශල්‍ය නාමල් ගමගේ මහතාට දැන්වීමෙන් පසු වෛද්‍යවරයා තමන්ට බලපෑම් කරමින් තර්ජනය කරමින් බොරු චෝදනා ඉදිරිපත් කරන බවට සඳහන් කර හෙදියන් විසිහත් දෙනකු විසින් අත්සන් කරන ලද ලිපියක් කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයාට. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති  ඇතුළු පිරිසකට 2003.7.18 දා යවා තිබිණ.

එසේ බෙදාහරින ලද ලිපිය මගින් තමාගේ කීර්ති නාමය වෘත්තියේ ගෞරවය සහ චරිතය හැල්ලුවටද අවමානයටද අපහාසයටද අපකීර්තියද පත්වී ඇති බැවින් ඒ අනුව සිදුවී ඇති අලාභය වෙනුවෙන් එක් අයකුගෙන් රුපියල් පන් ලක්ෂය බැගින් විසිහත් දෙනාගෙන් අයකර දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

වගඋත්තරකාරියන් වැඩි දෙනකු මේ වනවිට එම ඒකකයේ සේවයේ නොමැති බව නඩුවේදී අනාවරණය විය.

මෙම වගඋත්තරකාරියන් දොළොස් දෙනා රුපියල් පනස් දහස බැගින් වන්දි ගෙවා නඩු සමථයට පත්වීමට කැමැත්ත පළ කර ඇති අතර පැමිණිලි පාර්ශ්වයද එයට එකඟතාව පළ කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආනන්ද වික්‍රමසේකර මහතා සමග නීතිඥ හේමන්ත විතාරණ මහතාද නීතිඥ නන්දා විතාරණ මහත්මිය ද පෙනී සිටියහ.

-උණවටුන ඩී.පී. සුගතපාල-