ආරක්ෂක අංශවල දෙමළ තරුණියන් සේවය නොකළ යුතු බවට තර්ජනය කරමින් වවුනියාවේ සිවිල්
ආරක්ෂක බළකායේ තරුණියකට කිසියම් පිරිසක් පහර දිම නිසා පෙරේදා (16දා) ඇය වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම ප්‍රහාරය වැළැක්වීමට ගිය එම සෙබළියගේ සහෝදරයාටද පැමිණි පිරිස පහර දිම නිසා ඔහුද රෝහල්ගත කොට තිබේ.

වවුනියාව ඕමන්ත වේලාර්සින්නකුලම
ගම්මානයේ පදිංචි මෙම දෙමළ තරුණිය සිවිල් ආරක්ෂක බළකායේ සෙබළියක වශයෙන් සේවය කරන අතර ඇය සේවය නිමවී නිවෙසට පැමිණ සිටියදි රාත්‍රියේ පැමිණි තරුණයන් පිරිසක් ඇයට පහරදී තිබේ. පහර දෙන අතරතුර එම තරුණයන් දෙමළ තරුණියන් ආරක්ෂක අංශවල සේවය නොකළ යුතු බවත් තමාට ඉන් අස්වන ලෙසත් බල කරමින් පහර දුන් බවත් පහර කෑමට ලක්වූ තරුණිය පවසයි.

තමන්ගේ බාල සහෝදරයා මේ ප්‍රහාරය වැළැක්වීමට පැමිණි අවස්ථාවේදි තරුණයන් ඔහුටද තුවාල වන තුරුම පහරදී පලා ගිය බව රෝහලේ ප්‍රතිකාර ලබන තරුණිය පොලිසියට පවසා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එදිනම දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි. පහරදීම පෞද්ගලික කෝන්තරයක් මත සිදුවූවක් බවත් අත්අඩංගුවට ගත් දෙදෙනා ඕමන්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත් පොලිසිය  පැවැසීය.

-රසාදි චතුරංගි ගමගේ-