රජය රහස්ම ක්‍රියාත්මක කිරීමට යන ඇමෙරිකානු “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්" ව්‍යපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත ‘ඇමෙරිකානු ආර්ථික කොරිඩෝව’ සඳහා ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා වූ රජයේ ඉඩම් අක්කර ලක්ෂ 4 1/2ක් සින්නක්කරම ඇමෙරිකාවට ලබාදිමේ යටි අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
කොට ඇති යෝජිත රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමින් ඊයේ (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ විමර්ශන පෙත්සම් දෙකක් ගොනු විය.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එක් පෙත්සමක් ගොනු කරන ලද අතර, අනෙක් පෙත්සම ගොනුකරන ලද්දේ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍ර ඒකාබද්ධ විපක්ෂ ක්‍රියාකාරියකු වන සිසිර ජයකොඩි මහතා විසිනි. මෙකී යෝජිත පනත සම්මත වුවහොත් එමඟින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ මූලික වගන්තියක් වන ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවට බරපතළ ලෙස හානියක් සිදුවන බවත්, රජයේ ඉඩම් අක්කර ලක්ෂ ගණනක් කූට ආකාරයෙන් විදේශිකයන්ගේ සින්නක්කර අයිතියට නතුවන බවත් එබැවින් මෙය පාර්ලිමේන්තුවේ එදිනට නොපැමිණි මන්ත්‍රින්ද ඇතුළුව සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3න් 2කට (2/3කට) නොඅඩු මන්ත්‍රී සංඛ්‍යාවකගේ බහුතර ඡන්දයෙන් මිස සම්මත කළ නොහැකි බවටත්, ඊට අමතරව මැතිවරණ කොමිසම මගින් පවත්වනු ලබන නීත්‍යානුකූල ජනමත විචාරණයකින් රටේ සමස්ත ඡන්දදායකයන්ගේ බහුතරයෙන්ද සම්මත කිරීමෙන් මිස වලංගු නොවන බවටත් ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

ඇමෙරිකාවේ රජය 2019 අප්‍රේල් 25 වැනි දින වොෂින්ටනයේදී පවත්වන ලද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ත්‍රෛමාසික රැස්වීමේදී එහි අධ්‍යක්ෂන්ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාවේ “ඇමෙරිකානු ආර්ථික
කොරිඩෝව” පිළිබඳ යෝජනාවට අදාළව ඇමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිකුත් කරන ලද ප්‍රකාශනයක පිටපතක්ද පෙත්සමට අමුණා ඇත.

ඒ අනුව එම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් එදින අනුමත කර ඇති බවද යෝජිත ඉඩම් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විශාල ඉඩම් ප්‍රමාණය සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ ඇති රජයේ ඉඩම් (state lands) ප්‍රමාණය පිළිබඳවද, බලපත්‍ර යටතේ විවිධ පාර්ශ්වයන්ට භාවිතය සඳහා දී ඇති ඉඩම් ප්‍රමාණය පිළිබඳවද එකී ඉඩම් විකිණීමට හැකිවන පරිදි යම් ක්‍රමවේදයක් සැකසීමේ අවශ්‍යතාව පිළිබඳවද ඒ සඳහා අවශ්‍ය වන නීති රීති සංශෝධන පිළිබඳවද එකී අධ්‍යක්ෂි මණ්ඩල රැස්වීමේදි කරුණු අවධාරණය කොට ඇති බවද පෙන්වා දී ඇත.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති යෝජනා 'රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත” මඟින් රජයේ ඉඩම් බලපත්‍ර යටතේ භාවිතය සඳහා ලබාදී ඇති අයට එම ඉඩම් වෙනත් ඕනෑම පාර්ශ්වයකට විකිණීමට හැකි වන පරිදි අවශ්‍ය සංශෝධන ඇතුළත් කොට ඇති බවද මෙමඟින් රජය සිදුකරන්නට යන්නේ එම ඉඩම්ද “ඇමෙරිකානු ආර්ථික කොරිඩෝව ව්‍යාපෘතිය" හරහා ඇමෙරිකාවට විකිණීමට ඉඩකඩ සැලසීම බවද පෙත්සම් මහින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී ඇත.

-කමල් මහේන්ද්‍ර වීරරත්න-