ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමට අයත් ගාන්ධි වටරවුම අසලදී විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු ඇතුළු පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර දෙදෙනකුට තුවාල සිදුකළේ යයි චෝදනා ලැබ සිටි විශේෂ කාර්ය බළකායේ
12 දෙනෙක් සහ පොලිස් නීලධාරියෙක් දිර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එච්. මොහාමඩ් හම්සා මහතා විසින් ඊයේ නිදහස් කරනු ලැබූහ.

ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම අසලදී 2006 ජනවාරි 02 දා හෝ ඊට ආසන්න දිනකදී ත්‍රිකුණාමලයේ පදිංචිකරුවින් වූ
මනෝහරන් රජිහරන්, යෝගරාජා හේමචන්ද්‍රන් ලෝහිත රාජා රෝහන්, තංගදොරයි සිවනාදන්, සම්මුගරාජා ගජේන්ද්‍රන් යන තරුණයන්ට වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් දෙදෙනකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 විගන්තිය යටතේ මිනීමැරීම, 300 වගන්තිය යටතේ මිනීමැරීමට තැත්කිරීම සමග 32 විත්තියෙන් කිවයුතු පොදු චේතනා යන චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ගොනු කර තිබුණි.

මෙම නඩු විභාගය සඳහා නඩු භාණ්ඩ හතක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර 36 දෙනෙකු සාක්ෂි සඳහා නම් කර තිබුණි. ඉන් අට දෙනෙකු සාක්ෂි දීමට නොපැමිණීම විශේෂත්වයක් ගත්තේය. ඒ අටදෙනා අතර සිද්ධිය ඇසින් දුටු තුවාල ලැබූ හතර වැනි සාක්ෂිකරු හා අටවැනි සාක්ෂිකරු වන අතර ඒ දෙදෙනා ස්විත්සර්ලන්තයේ හා බ්‍රිතාන්‍යයේ පදිංචියට ගොස් ඇති බවට අනාවරණය විය.

ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 153 (1) උප වගන්තිය (02) හා 154 වගන්තිය අනුව මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා මූලික නඩු විභාගයෙන් චූදිතයන් නිදහස් කරණ බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පැවැසීය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ධනුක මැදගෙදර හා එස්. චන්ද්‍රසිරි යන මහත්වරු පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව් වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් ඩිලන්ත රත්නායක මහතා පෙනී සිටියේය.


(අමදෝරු අමරජීව)