යාපනය පලාලි ගුවන් තොටුපොළ කලාපීය ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීම අද (05) සිට ඇරඹේ. මෙහි සමාරම්භක උත්සවය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 8.00ට පලාලි ගුවන්තොටුපොළේදී පැවැත්වේ. සංවර්ධන කටයුතු සිදු කිරීමෙන්
අනතුරුව අගෝස්තු මාසයේ පළමුවැනි සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කෙරෙන සිදුවන අතර එහිදී ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කොචිං සහ බැංගලෝර් යනාදී  ගමනාන්ත දක්වා ගුවන් ගමන් සිදුකෙරේ.

යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය
කිරීම සඳහා දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2,250ක් වන අතර ඒ සදහා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය රජයේ ආධාර ලෙස රුපියල් මිලියන 300ක් ලබා දී තිබේ. අදියර තුනක් යටතේ දියත් වන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ගුවන් යානා මෙහෙයුම් කටයුතු සදහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් නිර්මාණය කිරීම සිදු වේ.

එසේම ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ ප්‍රධාන ධාවනය පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ඉදිකරනු ලබයි. එය සම්පූර්ණ කිරිමෙන් පසුව පලාලි ගුවන්තොටුපොළින් වර්ග කිලෝමීටර් 1,800ක ගුවන් අවකාශය ආවරණය වන පරිදි ගුවන්යානා හැසිරවිය හැකිය. ව්‍යාපෘතියේ අවසන් අදියර හෙවත් තුන්වැනි අදියරේදී ප්‍රධාන ධාවන පථයේ මුළු දුර ප්‍රමාණය වූ කිලෝමීටර් 2.3 ක් දක්වා සම්පුර්ණයෙන්ම ඇතිරීම  සිදු කරයි. එම තුන්වැනි අදියර සම්පුර්ණ කිරීමෙන් පසුව AL - 320, AL - 321 වැනි ගුවන් යානා හැසිරීමේ හැකියාව පලාලි ගුවන්තොටුපොළට ලැබේ.

-දිනුක මලින්ද හේරත්-