ප්‍රසව හා නාරි වෛද්‍ය මොහොමඩ් ෂාෆි  මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජුලි මස 27 වැනිදා පිටු 210කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට  කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී නඩුවේ පාර්ශවකරුවෙකු නොවන එමෙන්ම, ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු ද නොවන කුරුණෑගල මහ රෝහල් අධ්‍යක්ෂවරයාගෙන්
කරුණු විමසා පැලෝපීය නාල පරීක්ෂාව නොහොත් එච් එස් ජී (HSG) පරික්ෂණය නවතා දැමීමට නියෝග නිකුත්  කිරීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන ලෙස එම දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා ඇත.

එසේම, එදින කුරුණෑගල මහ රෝහල් අධ්‍යක්ෂවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු නඩු ගොනුවට ඇතුළත් නොකර ඉන් ඉවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා යතුරුලේඛිකාවට උපදෙස් දී ඇති බැවින් එම කරුණු නඩු ගොනුවේ ඇතුළත්ව නොමැතිවීම සම්බන්ධයෙන්
 ද විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙස ද එම දෙපාර්තමේන්තුව සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

මෙම සිද්ධියට අදාළව කුරුණෑගල මහත්‍රාත්වරයා සිය මුහුණුපොත ඔස්සේ තම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් (පෝස්ට් එකක්) ඉදිරිපත් කර ඇති බවත්, ඒ පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලා ඇත.


(නිමන්ති රණසිංහ)