පාර්ලිමේන්තුවේ ආහාර පාන වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 12ක (මිලියන 120) පමණ මුදලක් වැය වන බව ගණන් බලා ඇතැයි එහි මූල්‍ය අංශයේ නිලධාරීහු පවසති.

මෙම මුදල වැඩි වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද පාර්ලිමේන්තු කාර්ය  මඩලයේ හා එයට පැමිණෙන අමුත්තන්ගේ ආහාර පාන වෙනුවෙනැයි ද ඒ නිලධාරීහු කියති.

මෙයට අමතරව පාර්ලිමේන්තුවේ විදුලිය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි අටක්ද දුරකථන වෙනුවෙන් වසරකට රුපියල්
එක්කෝටි හතළිස් පන්ලක්ෂයක් හා පානීය ජලය වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 90ක් ද වැය කරන බව මූල්‍ය අංශ ප්‍රකාශකයෙක්  පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ පිසිනලද ආහාර පානවලින් සියයට හැත්තෑ පහක්ම වැය වන්නේ එහි කාර්ය  මණ්ඩලය වෙනුවෙනැයි කියති. මේ අතර පාර්ලිමේන්තුවේ පිසින ලද ආහාර අපතේ යෑම කතානායක කරූ ජයසූරිය මහතාගෙත් උපදෙස් මත සැලකිය යුතු ලෙස අවම කර ඇතිබවත් පුද්ගල පැමිණීම් සංඛ්‍යාව කල් තියා ලබාගෙන ආහාර පිසීම කරන ලෙසට කතානායකවරයා උපදෙස් දී තිබෙන බවත් පාර්ලිමෙන්තු නිලධාරිහු ප්‍රකාශ කරති.

පාර්ලිමේන්තු සංකීර්ණයේ වැඩිම විදුලිය ප්‍රමාණයක් වැය වනුයේ එහි වායුසමීකරණය පද්ධතිය වෙනුවෙනැයි පාර්ලිමේන්තු ආරංචි  මාර්ග සඳහන් කරයි.

-සුජිත් හේවාජුලිගේ