https://www.gossiplankanews.com/2019/07/chandrka-explain-how-did-her-expenditure.html#more
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ දියණිය වෛද්‍යවරියකි. පුතු පශු වෛද්‍යවරයෙකි. ඔවුන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේය. එම දෙදෙනා විදේශවලට යවා අධ්‍යාපනය ලබාදීමට ඇයට මුදල් ලැබුනේ කෙසේද යන්න ගැන
කාලයක් කතාබහක් පැවතිණි. එසේම ඇය වොටර්ස් ඒජ් ඉඩම සම්බන්ධ සිදු කළ ගනුදෙනුව ගැනත් විවිධ වාර්තා පළ විය. මේ සම්බන්ධයෙන් අද පළවූ සතිඅන්ත පුවත්පතකට ඇය විසින් කරන ලද පැහැදිලි කිරීමක් මේ සමග පළවේ.

මගේ දරුවන්ගේ විදෙස් අධ්‍යාපනය ගැන මගේ ප්‍රතිවාදීන් විවිධ කතන්දර ගොතා තිබිණි. වෙනකක් තබා මගේ මිතුරන් මෙන්ම ආධාරකරුවන් පවා තමන් විශ්වාස කළ යුත්තේ
මේ කතන්දරවලින් කුමක්දැයි විපිලිසරව සිටී අවස්ථා ඇත. මම මෙතෙක් මේ කරුණ අර බයා මුනිවත රැකීමි. එහෙත් ඒ විවේචන නිහඩ කරනු පිණිස මා සහ මගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් අදාළ විස්තර හෙළි කිරීම මගේ වගකීමක් යැයි මම කල්පනා කරමි.
සිය උසස් පෙළ විභාගය සම්පුර්ණ කිරි මෙන් පසුව යශෝදරා 1998 වසරේදී වෛද්‍ය විද්‍යාව හැදෑරිම පිණිස කේම්බ්‍රිජ් සරසවියේ කොස් ක්‍රිස්ටි විද්‍යායතනයේ ප්‍රවේශයට අවස්ථාව ලැබුවාය. එපරිද්දෙන්ම විමුක්තිද පශු වෛද්‍ය විද්‍යාව හැදෑරිම පිණිස බ්‍රිස්ටල් සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලද්දේය. ඒ අනුව පළමු අවුරුදු තුනට අධ්‍යයන ගාස්තු ලෙස බ්‍රිතාන්‍ය පවුම් 11,000ක් සහ නවාතැන් පහසුකම් සදහා තවත් පවුම් 2500 වෙන් වෙන් වශයෙන් වාර්ෂිකව සපයා ගත යුතු විණි. ඒ අවදිය වන විට ජනාධිපතිවරිය

ලෙස මගේ මාසික වැටුප රුපියල් 25,000කි. මට උරුම වතුවලින් සහ රොස්මීඩ් පෙදෙසෙහි මගේ නිවස කුලියට දීමෙන් මා ලද පෞද්ගලික ආදායම රුපියල් 300,000කි.
මට ඒ හැර අන් ආදායමක් නොවූ සේම මට අවැසි මුදල් දීම සඳහා සැමියකු හෝ මවුපියන් සිටියේ ද නැත. ඉදින් මම ගණන් සෑදීමට පටන් ගතිමි. මා මගේ මූලික අවශ්‍යතා ඉක්මවා වියදම් කිරිමෙන් වළකින්නේ නම් අදාළ මුදල කළමනාකරණය කිරීමට මට හැකි බව එහිදී පෙනී ගියේය. ඒ කාලය වන විට බ්‍රිතාන්‍ය පවුමක හුවමාරු අගය ශ්‍රී ලංකා රුපියල් අසූපහකි.
අදාළ මුදල් මට කළමනාකරණය කරගත හැකිදැයි මගේ දියණිය මගෙන් විමසා සිටියාය. මම ඇයට ඒ පිළිබඳ කරදර නොවන්නැයි පවසා අපට කෙසේ හෝ එය පිරිමසාගත හැකි බව පවසා සිටියෙමි. අපට එය කෙසේ හෝ කළමනාකරණය කරගත හැකි වන බවට ගැඹුරු විශ්වාසයක් මගේ හද පතුලේ තිබිණි.
අවශ්‍යම අවස්ථාවකදී මට හොරගොල්ල ඉඩමින් කොටසක් විකිණිය හැකි බවට විශ්වාසයක් තිබිණි. එය සැලකිය යුතු වටිනාකමකින් යුක්ත ඉඩමකි. කෙසේ වෙතත් මට කිසිත් නොපවසා අන්තර්ජාලය පිරික්සන්නට ගත් යශෝධරා 'කොමන්වෙෂ් කේම්බ්‍රිජ් ට්‍රස්ට්' යනුවෙන් හැඳින්වෙන භාරයක් මගින් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල අවශ්‍යතා ඇති සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බව සොයාගත්තාය. ඒ අනුව ඇය ඊට අයැදුම් කළ අතර අදාළ
තෙවසර සඳහා ඇයට වාර්ෂිකව පවුම් 6000 බැගින් උපරිමයක් ලබා දිය හැකි බවට දන්වන ලදී. එය අපට මහත් අස්වැසිල්ලක්ම විණි. ඒ තත්වය යටතේ මට ඊට අමතරව වසරකට
සොයාගැනීමට අවශ්‍ය වූයේ පවුම් 7000ක මුදලක් පමණි. සැබැවින්ම එය මට සොයාගත හැකි සීමාවේ පැවතිණි. ඒ ගැන සොයා බැලූ මට පොදුරාජ්‍ය මණ්ඩලයීය භාරයේ සභාපතිවරයා වශයෙන් කට යුතු කරන්නේ මගේ මිතුරකු වන එවක
පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ මහ ලේකම්වරයා ධුරය දැරූ එමෙකා අත්යමකු බව දැන ගතිමි. ඔහුට මගේ කවේදීත්වය පළ කිරිමට කොළඹ සිට ලන්ඩනය ඇමතූ මම ඔවුන් විසින් පිරිනමනු ලබන උපරිම මුදල ලබාගැනීම මසිතට බරක් ලෙස දැනෙනා බවත් ඉන් අඩක් පමණක් යශෝධරා හට ලැබෙන්නේ නම් එය ප්‍රමාණවත් බවත් ඉතිරිය මෙය වඩාත් අවශ්‍යව ඇති සිසුවකුගේ ශිෂ්‍යත්වය පිණිස යෙදවිය හැකි බවත් වැඩිදුර ටත් දන්වා සිටියෙමි,
ඒ අවස්ථාවේදී අන්යමකු විසින් තෙපලන ලද වදන් තවමත් මගේ දෙසවන්හී රැව් නැගෙයි. 'ජනාධිපතිතුමියනි, කරුණාකර මෙය භාරගන්න. අවංකත්වය සහ ඒකාග්‍රතාව යන දුර්ලභ ගුණයන් පළ කර සිටින ඔබවන් නායකයන් දිරිගැන්වීම ලොවට අවශ්‍ය වී තිබේ.''
ඔහුගේ එම පිළිතුරෙන් මම තදින්ම කම්පනයට පත් වුණෙමි. ධුරයන්ගෙන් ඉසුඹු ලද පසුවද බොහෝ කලක් තිස්සේ අපි තවමත් මිතුරන් වී සිටිමු. විමුක්ති පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස සරසවි ප්‍රවේශය ලබනා තුරු දෙවසරක කාලයක් උදෙසා එසේ කේම්බ්‍රිජ් සරසවියෙහි යශෝධරාගේ වියදම් කළමනාකරණය කරගැනීමට මම සමත් වීමි. විමුක්තිගේ අධ්‍යයන ගාස්තු පවුම් 9000ක් වූ අතර නවාතැන් සඳහා තවත් පවුම් 2000ක් සපයා ගත යුතු විණි. ඔහුටද පවුම් 2000ක ශිෂ්‍යත්වයක් ලැබිණි. දැන් මට මුදල් අසීරුතා දැනෙන්නට පටන් ගැනිණී.
විමුක්තිගේ සරසවි දිවියේ පළමු වසර සහ යශෝධරාගේ තෙවෙනි වසර අවසනදී මම මා සතු දෙවන දේපළ ඔවුන්ගේ අධ්‍යාපනය උදෙසා විකුණා දැමීමි. එනම් පොල්හේගොඩ නිවෙස විකුණා ඒ මුදල් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළෙමි.
මම පළමු ඉඩම් කට්ටිය එනම් විජයගෙන් උරුම ලද ඉඩමක් දරුවන්ගේ අධ්‍යපනය උදෙසා විකුණා දැමීමි. ඒ සඳහා මට රුපියල් මිලියන 4.5ක් ලැබුණ අතර මම වහාම එය ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළෙමි. එකී ආයෝජන සහ මගේ මාසික ආදායම එකතුව ගත් කල 1998 සිට 2005 දක්වා වූ කාලය තුළ දරුවගේ විදෙස් අධ්‍යාපනය සඳහා ඇවැසි මුදල් කළමනාකරණය කරගත හැකි විණි. විශ්‍රාම ලැබීමෙන් පසුව උපදේශකයන් වශයෙන් තනතුරු ලැබ සිටිනා බොහෝ අන් රට වල රාජ්‍ය ප්‍රධානීන් පරිද්දෙන් මමද පෞද්ගලික අංශයෙහි උපදේශන සේවා සැපයීම සදහා අවස්ථා සොයන්නට පටන් ගතිමි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරමින් සිටි ශ්‍රී ලාංකික සමාගම් මෙන්ම විදෙස් සමාගද මගේ සේවය ලබාගැනීමට අකමැත්තක් දැක්වීය. ඔවුන් එසේ අකමැත්ත දැක්වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මා වෙත දක්වන ලද වෛරි සහගත ආකල්පය ඔවුන් මැනවින් දැන සිටි හෙයිනි. එවන් තත්ත්වයක් යටතේ මම මා සතු වටිනා දේවල් අලෙවි කිරීමට පටන් ගතිමි.
මගේ ඉසුඹු දිවියේ වසර අටක කාලය තුළ මේ දක්වා මම කොළඹ නගරය තුළ මා සතුව
පැවති නිවෙස ඇතුළුව මගේ දේපළ හයක් අලෙවි කර ඇත්තෙමි. මින් මා ලබනා ආදායම් මින් අඩක් මගේ දරුවන්ට දී ඉතිරිය ආරක්ෂිත යයි සැලකෙන ස්ථාවර තැත්පතුවල ආයෝජනය කළෙමි. එසේම මම මා සතු දේපළ සංවර්ධනය කිරිමට සහ මට හිමි ඉන්ධන පිරවුම්හලේ කටයුතු කළමනාකරණයට කාලය වැය කළෙමි. එහෙයින් දැන් මට සුවපහසු දිවියක් ගත කිරීමට මෙන්ම මා සතු මුදල් පිළි බඳ විස්සෝප නොවෙමින් මට ඇවැසි දෙයක් කිරීමට තරම් වන ආදායමක් ලැබෙයි.
මා පමණට වඩා ත්‍යාගශීලී බවත් කිසි දිනෙක හෝ ගත් ණය ආපසු නොගෙවන
මිතුරන් සහ දන්නා හඳුනන අයට ණය දීමට නොපැකිළෙන බවත් පවුලේ අය මෙන්ම මගේ හිත මිතුරෝද නොයෙක්වර මට පවසති. නමුදු ඒ මගේ ස්වභාවය බව කිව යුතුය.

මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මට උපදෙස් සපයන මගේ මිත්‍රයෙක් කොමිස් කුට්ටි කිහිපයක් භාරනොගන්නා මා කෙතරම් මෝඩියකදැයි මගෙන් වරක් විමසා සියේය. ඒ මා ඉසුඹු ලද පසුව ලන්ඩනයේ ගත කළ පළමු වසර කිහිපය තුළ ජීවන වියදම් සපුරා ගැනීම සම්බන්ධයෙන් මා අපහසුතාවට මුහුණ දෙමින් සිටි සමයයි. ඇතැම් විට ඔහුගේ අදහස නිවැරදි විය හැකි යයි හැඟී ගිය හෙයින් මම මදක් වේලා නිහඩව සිටියෙමි. එහෙත් ඒ ගැන තවදුරටත් කල්පනා කර බැලීමෙන් පසුව කාරණා දෙකක් හේතුවෙන් මම මගේ රජය යටතේ මවිසින් කටයුතු කරන ලද ආකාරය ගැන ආඩම්බර වන බව ඔහුට පවසා සිටියෙමි. පළමුව ඉන් මට මගේ සාමකාමී හෘද සාක්ෂිය පවත්වාගනිමින් ජීවත් වීමට හැකි වී තිබේ. දෙවැන්න ශ්‍රී ලංකාව යනු ඕනෑම දෙයක් ප්‍රසිද්ධියට පත් විය හැකි කුඩා රටකි. සැම විටම පාහේ මගේ පශ්චාත් විශ්‍රාම සමය තුළ මට ඇවැසිව තිබු එක් දෙයක් වූයේ පුරවැසියන් මගේ මුහුණට කෙල ගසනු නොදකිමින්

හිස නගාගෙන මගේ රටේ වීදි දිගේ නිදහසේ පිය නගා යා හැකි තත්වයක් ඇති කරගැනීමයි.
ඉදින් මා ඒ තත්වය දිනාගෙන ඇති බව මම මගේ මිතුරාට පැවසීමි. මගේ ජාතියට සේවය කිරීම උදෙසා කැප කරන ලද වසර ගණනාවක කාලයෙන් පසුව මා අපේක්ක්ෂා කළ පරම ධනය නම් එයමය. රජය තුළ කිසියම් දූෂණයක් ගැන සවන් වැකි සෑම අවස්ථාවකදීම දිගටම මම කම්පනයට සහ භීතියට පත් වීමි. නායකයන්ට සිය හෘද සාක්ෂිය එසේ අත්හැර දමන්නට හැකි වන්නේ කෙසේදැයි මට නම් වටහාගත නොහැකිය. ආණ්ඩුවේ පාරදෘෂ්‍යභාවය සහතික කිරීමට මවිසින් නිර්මාණය කරන ලද සියලු පද්ධති විනාශ කර දැමූ සහ පසුව තමන් විසින්ම සිත් කම්පා කරවනසුලු දූෂණයන්හී නියැළුණ මගේ අනුප්‍රාප්තිකයන්ට මගේ ධුර සමය තුළ මවිසින් පවත්වාගන්නා ලද යහපාලනය සහ මගේ පෞද්ගලික අවංකත්වය නොගැළපුණ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.
ස්වකීය දූෂණ ක්‍රියා බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ට චන්ද්‍රිකාද අවංක නොවන්නේ යයි පෙන්වීමට සිදු වී තිබිණි. මා ගැන මෙන්ම බණ්ඩාරනායක වරුන් පිළිබද ද පැවැති නිම් නැති වෙරය සහ ඊර්ෂ්‍යාවට අමතර ව තිබූ මේ අවශ්‍යතාවේ ප්‍රතිඵලය වූයේ මුළුමනින්ම සාවද්‍ය චෝදනාවක් මට එරෙහිව එල්ල කරනු ලැබීමයි. ඒ අනුව දැන් කුප්‍රකට 'වෝටර්ස් එජ් නඩුව' නමින් හදුන්වනු ලබන සිදු වීම අලළා අන්තගාමී දේශපාලන පක්ෂයක සාමාජිකයන් මට එරෙහි පෙත්සමක්ද සමඟින් අධිකරණය වෙත යවනු ලැබිණි. එහිදී ප්‍රධාන වශයෙන්ම සංචාරක කර්මාන්තය නැවීමට යයි කියමින් ගොල්ෆ් ක්‍රීඩා ගර්ණයක් ඉදි කිරීම පිණිස අක්කර සියයක වපසරියකින් යුත් රජය සතු ඉඩමක් මගේ මිත්‍රයෙකුට සහ ඔහුගේ සමාගමට ලබාදෙමින් අයථා වාසි පිරිනමන ලදැයි මට එරෙහිව චෝදනා එල්ල කෙරිණි.
කවරකුට වුව මට එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමට හැකි වූ එකම අවස්ථාව මෙය වන හෙයින් මම මෙහිදී ඊට අදාළ සාධක සැකෙවින් ගෙනහැරපානු කැමැත්තෙමි. මේ කියන සිදු වීමේදී හෝ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරිය හෝ මහ ඇමතිවරිය ලෙස ධුරය දැරූ සමයෙහිදී වුව කවරාකාරයේ වුව අනීතික
හෝ අවිධිමත් ආකාරයකින් මගේ නිල බලය භාවිතා කරමින් හෝ අන්‍යකාරයකින් කටයුතු කර නැති බව කිසිදු චකිතයකින් තොරව මට කිව හැකිය.
ඒ කරුණ සම්බන්ධයෙන් අනීතික හෝ අවිධිමත් කිසිවක් සිදු වී නැති බව සනාථ කිරීම පිණිස මගේ නීතීඥවරු ඉතා පැහැදිලි, අභියෝගයට ලක් කළ නොහැකි විශ්වසනීය සහ සමකාලික ලේඛනගත සාක්ෂි අධිකරණය හමුවේ ගෙනහැර පෑවෝය. එහෙත් ඒ සියලු සාක්ෂි මෙන්ම සියලු ලේඛනගත සාක්ෂිද වගකිව යුතු ආයතන මගින් නොතකා හැරිණි.
ඒ ඉඩම් ප්‍රදානය යනු ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ වන ආයෝජන සඳහා වූ සහනයකි. මෙම ආයෝජන මණ්ඩලය, ජයවර්ධන ආණ්ඩුව සමයේ ආරම්භ කරන ලද දා පටන්ම රට තුළට සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කරගැනීම උදෙසා විදෙස් ආයෝජනයන්ට සහන ලබා දීමට රෙගුලාසි පැනවීය. පෙර පැවති ආණ්ඩුව යටතේ ආයෝජන මණ්ඩලය විවිධ ප්‍රසම්පාදන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේය. 1994 වසරේදී මා සහ මගේ ආණ්ඩුව තෝරා පත් කරගැනීමටත් පෙර සිටම අනෙකුත් දෑ අතර රජය සතු ඉඩම් පවරා දමද මීට ඇතුළත් වී තිබිණි. කෙසේ වෙතත් කිසිදු ආයෝජකය කුට උපකාර කිරීමේ අදහසින් මම ආයෝජන සඳහා සහන දීමේ සංකල්පයක් ගැන කලපනා කිරීමට ඉක්මන් නොවීමි. දෙනු ලබන සහනයන් හී ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ යෑමට පටන් ගත්තේ උතුරු නැගෙනහිර සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමගය. ඒ මෙහි ආයෝජනය කිරීමට අකමැත්තක් දැක්වූ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ අදහසිනි. ඊට අමතරව ආණ්ඩුව වි වැදගත් යයි සලකන ලද විශේෂිත වර්ගයන්හී ව්‍යාපෘති සඳහා විශේෂ සහන පිරිනමනු ලැබිණි.
මගේ ආණ්ඩුව විසින් යෝජනා කරනු ලදුව 1995 වසරේ ජූනි මස පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද ජාතික ආර්ථික සංවර්ධන සැලසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට උප රිම ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමේ අදහසින් ආණ්ඩුව ආයෝජකයන්ට පිරිනමන සහන ඉහළ දැමීමට අදහස් කළ බවට මම කරුණු ඉදිරිපත් කළෙමි.
යහපාලනය පිළිබද මගේ ප්‍රතිපත්ති අනුව යමින් මම පාරදෘෂ්‍යභාවය පිළිබඳ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ ශක්තිමත් කිරීමට කටයුතු කළෙමි. එහිදී ඒපීජීසී ව්‍යාපෘතියට (වෝටර්ස් එජ්) දෙන ලද සියලු පහසුකම් මෙකී මාගෝපදේශ සහ රෙගුලාසිවලට සාකල්‍යයෙන්ම අනුකූල විය. මෙහිදී පහත පරිදි පනවන ලද සියලු පරිපාටි අනුගමනය කෙරිණි.
අධිකරණය මගින් තීරණය කර ඇති ආකාරයට මේ ආයතන ද්විත්වය එනම් ආයෝජන මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය හිටපු ජනාධිපතිවරියගේ නියෝග සහ/හෝ නියමයන් පරිදි කටයුතු කර තිබුණේ නම් දැන් ඒ ආයතන මගේ පාලනයෙන් බැහැරව පවතින තත්වයක් යටතේ නිසැකවම ඔවුන් එවන් තොරතුරු, අදාළ වන පරිදි. අධිකරණයේ අවධානයට ඉදිරිපත් කරනු ඇති බව ඉතා පැහැදිලිය. එහෙත් ඔවුන්ද එවැන්නක් කර නැත. සියලු ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සදහා විශේෂිත හෝ වෙනත් සහන නිර්දේශ කරමින් සකසනු ලබනා සෑම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ම, අදාළ නිර්දේශ අමාත්‍යවරයා වෙත යැවීමට පෙර ආයෝජන මණ්ඩලයේ සභාප තිවරයා ආයෝජන මණ්ඩලයේ පාලක මණ්ඩ ලය වෙතින් අනුමැතිය ලබාගත යුතු යයි නියම කරමින් මවිසින් හදුන්වාදෙන ලද නව රිතීන් අනුගමනය කරමින් පිළියෙල කළ යුතුය යන කරුණ අවධාරණය කිරීම පිළිබඳ මම නැවත වරක් දැඩිව පවසා සිටියෙමි. මා මේ සියල්ල අනුමත කර අමාත්‍ය මණ්ඩලය හමු වෙහි තැබුවේ සියලු පරිපාටි නිසි ලෙස අනු ගමනය කිරිමෙන් පසුව පමණි.