ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර හටගෙන තිබූ අර්බුදකාරී තත්වය
තාවකාලිකව සමථයකට පත්වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂි සහ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසිය. ඒ අනුව ඊයේ (09දා) උදෑසන සිට යළි විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාව පළ කර තිබේ.

පෙරේදා රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එළැඹ ඇති අතර ඒ අනුව ඊයේ සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව සඳහන් කළේය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදිම
අත්හිටුවීම හේතුවෙන් ඊයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය අත්හිටුවිය. විදුලිබල අමාත්‍යාංශය පැවැසුවේ රුපියල් බිලියන 80ක ණය සීමාව ඉක්මවීම හේතුවෙන් එලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීම නතර කළ බවයි.

කෙසේ වෙතත් එම මුදල් කඩිනමින් ගෙවීමේ පදනම හා ණය සීමාව වැඩිකිරීමේ පදනම මත තවදුරටත් විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාව ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවලදී එකඟ වී තිබේ. එලෙස ඉන්ධන ලබාදෙන්නේ තවත් දින දෙකක කාලයකට පමණක් බව ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලවිදුලි බලාගාරවල ජනන කටයුතුද පහත වැටීමට ඉඩ ඇති බැවින් අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

-අනුර ප්‍රියන්ත-