වයඹ පළාතට පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් කුරුණෑගල වැවේ ජලය. අඩුවීමෙන් ඉපැ‍රණි මුර ගල් දෙකක් කොටස් මතුව තිබේ.

කුරුණෑගල, කතරගම දේවාලයට ආසන්නව පිහිටි වැවේ ඉපැරණි සොරොව්වට සම්බන්ධ ගල් බැම්මේ කොටසක මෙම මුරගල් තිබෙන ආකාරය දැකගත හැකිය. මෙයින් එක් මුර ගලක් බැම්මෙන් ගැලවී වැව් ජලයට වැටී තිබේ.

අඩි දෙකක් පමණ දිගින් සහ අඟල් අටක් පමණ පළලින් යුත්
මෙම මුරගල් දෙකෙහි බහිරව රූප සහ මල් කොටා ඇති ආකාරයද දැකගත හැකිය.

කුරුණෑගල වැවේ ජල පරිමාව අඩු වූයේ  ඉතා දිගු කලකට පසුව බැවින් සොරොව්ව සහිත කොටස සම්පූර්ණයෙන්ම මතුවීම හේතුවෙන් ඊට සම්බන්ධව පවතින මෙම මුරගලද මතුවී දර්ශනය වී පවතී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පඬුවස්නුවර කාර්යාලයේ නිලධාරීන්ද පැමිණ මෙම ස්ථානය පරීක්ෂාව ලක්කර මේවා ඉපැරණි මුරගල් බවට තහවුරු කර ඇත. එබැවින් මේවා ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව ජනතාව පෙන්වා දෙති.

 කුරුණෑගල නගරාධිපතී තුෂාර සංජීව විතාරණ මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ මෙම ඉපැරණි මුරගල් සංරක්ෂණයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි. එතෙක් එම ස්ථානයේ ආරක්ෂාවට කුරුණෑගල මහා නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් යොදවන බවද නගරාධිපතිවරයා පැවසීය.