මොනරාගල මරගලකන්දේ දින තුනක් පුරා පැතිර යන ගින්න නිවීමේ කටයුතු ඊයේ (8) අලුයම සිට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් ආරම්භ කර ඇත. මේ වනවිටත් මරගලකන්දේ කොලොන්වින්න
බෑවුමේ ගින්න පැතිර
යන අතර ඒ සඳහා ගුවන් හමුදාව මගින් ජලය ඉසීම ආරම්භ කර ඇති අතර මේ සමඟ ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිසක් කොලොන්වින්න ප්‍රදේශයට පැමිණ ඇත.

මරගලකන්ද මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන අතර හැඩ ඔය, විල ඔය, කුඩා ඔය, බෙහෙත් ගස් ආර, හුලාදා ඔය ආදී ගංගා ආරම්භ වනුයේ මරගල කඳුපන්තියෙනි. මෙම ගින්නෙන් මේ වනවිටත් අක්කර 500කට අධික ප්‍රදේශයක් ගිනි ගෙන විනාශ වී ඇත. මේ මරගලකඳු පාහිය බුද්ධදාස රජු සමයේ සිට වර්තමානය දක්වාම දේශීය ඖෂධ වන කොහොඹ, බිම්කොහොඹ, නික, අරලු, බුලු, නෙල්ලි, පාවට්ටා ආදි ඖෂධ රැසක් ඇති රක්ෂිතයකි.

ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවින්ද්‍ර කුමාර මහතාගෙන් කළ විමසීමේදී පැවැසුවේ ගින්න නිවා දැමීම සඳහා මේ වනවිටත් ගුවන් හා යුද හමුදාව යොදවා ඇති බවත් ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට අපේක්ෂා කරන බවයි.


-අයි.අර්.ඉන්දික-