2019 වසරේ මාර්තු මාසයේ සිට ජුනි මාසය දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව සියයට 66කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රවර්ධන සංචාරක ප්‍රවර්ධන
කාර්යාංශයේ සභාපති කිෂු ගෝමස් මහතා පැවසීය. පසුගිය මැයි මාසයේදී දිනකට සාමාන්‍යයෙන් ලංකාවට සංචාරකයන් 1,200ක් පමණ පැමිණි අතර ජුනි මාසය වන විට දිනකට සාමාන්‍යයෙන් සංචාරකයන් 2,200ක් පමණ පැමිණ තිබේ.

එසේම ජුනි මාසයේ අවසන් සතිය තුළ සාමාන්‍යයෙන්
දිනකට සංචාරකයන්ගේ පැමිණීම 2,350ක් දක්වා වැඩි වී තිබේ. එසේම මැයි මාසයේදී පැමිණි මුළු විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 37,802 සිට 63,072ක් දක්වා ජුනි මාසයේදී ඉහළ ගොස් තිබේ. මේ වසරේ ජනවාරි මස සිට ජුනි 30 වැනිදා දක්වා සංචාරකයින් 1,008,449 ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එය පසුගිය වසරේ පැමිණි සංචාරකයින් 1,164,647 සංචාරකයන් ප්‍රමාණයට වඩා සියයට  13.4ක අඩු වීමකි.

එසේම මේ වසරේ ජනවාරි මස සංචාරකයන් 244,239ක්, පෙබරවාරි මස 252,033ක්, මාර්තු මස 244,328ක්, අප්‍රේල් මස 166,975ක්, මැයි මස 37,802ක් සහ ජුනි මස 63,072ක් පැමිණ තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මහා බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ඉතාලිය, ජර්මනිය, සිවිට්සර්ලන්තය, චීනය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 16කින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

-තියේෂාද සිල්වා-