මඩකලපුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දරුවකුගේ මරණය සම්බන්ධයෙන් මඩකලපුව මහ රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය, ලේ බැංකුව බාර වෛද්‍යවරයා සහ වාට්ටු අංක 1 බාර වෛද්‍යවරයා සහ දරුවාට ප්‍රතිකාර කරන ලද වෛද්‍යවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස
මඩකලපුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා මඩකලපුව පොලීසියට නියෝග කරනු ලැබිය.

මඩකලපුව වන්දාරමුල්ල ප්‍රදේශයේ දරුවෙක් මඩකලපුව මහා රෝහලට ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදි හදිසියේ මියගොස් ඇත. පසුව කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම දරුවාට ලබාදුන් රැධිර සාම්පල්වල වැරැද්දක් නිසා මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව මඩකලපුව පොලිසිය මගින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට මඩකලපුව මහා රෝහලේ හෙදියන් දෙදෙනෙක් පමණක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙම කරුණු සැළකිල්ලට ගත් මඩකලපුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා මෙම සිද්ධියට හෙදියන් දෙදෙනා පමණක් ඉදිරිපත් කිරිමෙන් සෑහිමකට පත් නොවන අතර ඉහත සදහන් සියලුම වෛදවරුන් අත්අඩංගුවට ගෙනහෙට (24) බදාදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.


ලේ බැංකුව බාර වෛද්‍යවරයා, දරුවා ප්‍රතිකාර ගත් වාට්ටුවේ වෛද්‍යවරයා සහ වාට්ටුව බාර වෛද්‍යවරයා සහ මඩකලපුව මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරිය එලෙස ඉදිරිපත් කරන ලෙසට නියෝගය දී තිබේ.

මෙම දරුවා  මව පියා සමඟ මඩකලපුව වන්දාරමුල්ල ගම්මානයේ ජීවත් වී තිබේ. 2019 මාර්තු 1 දා මියගිය දරුවාගේ පියා විසින් එළවලු විකිණීම සඳහා ලොරියක් කුලියට ගෙන  ඇති අතර එම ලොරියට නැගීමට ගිය මියගිය දරුවා වන විදුලක්ෂන් ලොරියෙන් වැටී හිස තුවාල වී චෙංකල්අඩි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව මහා රෝහලට යවා තිබේ.

එහිදී දරුවාට මුලික ප්‍රතිකාර ලබාදී පසුව දැඩි සත්කාර ඒකකයේ දින හතක් රඳවාගෙන ප්‍රතිකාර කර පසුව 36 වාට්ටුවට දරුවා මාරු කර යවා තිබේ. එහිදී දින 6 ක් ප්‍රතිකාර ලබාදී පසුව නැවතත් දැඩි සත්කාර ඒකකයේ දින 6 ක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මිය ගොස් තිබේ.

මෙම දරුවාගේ මරණයට හේතුව වී ඇත්තේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ දී දරුවාට වැරදි ලේ වර්ගයක් දීමෙන් බව දරුවාගේ මව වන වී.සෙල්වරාණි මහත්මිය පැවසුවාය.

මඩකලපුව මහ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අධිකරණ වෛද්‍ය විශේෂඥ ආර්.පී.ජයසුරිය මහතා විසින් නිකුත් කරන ලද පශ්චාත් මරණ වාර්තාවේ ද මේ බව පැහැදිලිව සටහන් කර තිබෙන බව ද ඇය සඳහන් කළාය.

මේ පිළිබඳව මඩකලපුව මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක කලා රංජනී මහත්මියගෙන් කළ විමසිමකදී ඇය පැවසුවේ මේ පිළිබඳව තමන්ට කිසිවක් පැවසීමට නොහැකි බවයි. මේ පිළිබඳ තොරතුරු ලබාදීමට නම් සෞඛ්‍ය ලේකම්වරයාගේ අවසරය අවශ්‍ය බවද කීය.

(වසන්ත චන්ද්‍රපාල)