අමාත්‍ය රංජිත් මද්දුමබංඩාර මහතා අතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම සඳහා පෙරේදා (15) සංවිධානය කළ රැස්වීමකදී එහි සංවිධායකවරයා පිළිගැනීමේ කතාව පවත්වමින් සිටියදීම ඇදවැටී මරණයට
පත්වී ඇතැයි පස්සර පොලිසිය පවසයි.

බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූද හිගුරුකඩුව පළාත් පාලන කොට්ඨාසයේ එජාප සංවිධායකවරයා වූද පනස් හය හැවිරිදි හිඟුරුකඩුව පදිංචි ජේ.එම්. අරුණ ශාන්ත මෙම සිද්ධියෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මොහු මෙවරද එජාපයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ අයෙකි.

සමෘද්ධිලාභීන්ට ප්‍රතිලාභ කාඩ්පත් බෙදාදීමේදී උත්සවයට අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැමිණීමෙන් පසු පිළිගැනීමේ කතාව පවත්වන අතරතුර හදිසියේම ඇදවැටීමෙන් පසු රැස්වීමේ සිටි පිරිස ඒ මහතා හිගුරුකඩුව දිසා රෝහලට රැගෙන යන විටත් මියගොස් තිබිණැයි
පොලිසිය කියයි.

පසුව රැස්වීමට පැමිණි පිරිස රැස්වීම දිගටම පවත්වාගෙන  ගොස් තිබේ.  මොහුගේ මෘත දේහය හිගුරුකඩුව දිසා රෝහලේ තැන්පත් කර ඇත. මෙම මරණය පිළිබඳව මරණ පරීක්‍ෂණය ඊයේ (16) සිදුකිරීමට නියමිතව තිබිණි. පස්සර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත සෙනවිරත්න මහතාගේ උපදෙස් පරිදි පස්සර පොලිසියේ නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරති.


(දියතලාව.- ඩී.කේ. රත්න)