ශ්‍රී ලංකාවේ දැනට භාවිත වන උප්පැන්න සහතික අතරින් සියයට 17ත් 20ත් අතර ප්‍රමාණයක් ව්‍යාජ ඒවා බව රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විදානගේ මහතා පැවසීය. ළමුන් ජනප්‍රිය පාසල් වෙත ඇතුළත් කර ගැනීමට, පදිංචිය
සනාථ කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක්
හේතුවෙන් බොහෝ පිරිස් ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර තිබේ. එමෙන්ම ළමුන් හදාවඩාගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරිමේදීද බොහෝ පිරිස් ව්‍යාජ උප්පැන්න සකසා ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ.

එම සහතික පසුකාලිනව ජාතික හැඳුනුම්පත් සකස් කර ගැනීමේදී ව්‍යාජ බව හෙළිදරව් වීමෙන් පසු පිරිස් තමනට සත්‍ය උප්පැන්න සහතික හදා ගැනීමට ඒවා රැගෙන පැමිණෙන බවද ඒ මහතා සදහන් කළේය. මේ ආකාරයෙන් ව්‍යාජ සහතික සංසරණය වීම දැවැන්ත ප්‍රශ්නයක් වී ඇති බවත් එය නිවැරදි කර ගැනීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විදානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

-සුමන උදයන්ත-