මෙතැම්පටමයින් නමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක් වටිනා නීති විරෝධි මත්ද්‍රව්‍ය පෙති 5,500ක් සමඟ පුද්ගලයකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදි ඊයේ (04දා) පෙරවරුවේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

‘එක්ස්ටසි' නමින් වෙළෙඳපොළේ අලෙවි කරන එම මත්ද්‍රව්‍ය පෙති 5,500 පාර්සල් 06කට දමා පාවිච්චි කරන ලද ශබ්දවාහිනි  උපකරණයක් තුළ සඟවා තිබියදී රේගු නිලධාරින් කළ පරීක්ෂාවේදි සොයාගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරි ලාල් වීරකෝන් මහතා සඳහන් කළේය.
ඒවා බෙල්ජියමේ සිට මෙරටට එවා ඇති බවත් වීරකෝන් මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් පාසල් අංශය මඟින් දැනුම් දෙන පත්‍රිකාවක්ද අතැතිව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 52  හැවිරිදි අයකු විසින් මෙම ශබ්දවාහිනි උපකරණය රැගෙන යෑමට ඊයේ පෙ.ව. 11.30ට පමණ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත  පැමිණ සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රේගු නිලධාරින් විසින් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මෙතැම්පටමයින් පෙති තොගය මෙය වන බවය.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් රේගු විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අදාළ මත්පෙති තොගය හා ඔහු  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදිමට ඊයේ කටයුතු කර තිබේ.

-පහන් විජේසේකර-