https://www.gossiplankanews.com/2019/06/wimal-vilpaththu.html#more
විල්පත්තු පරිවාර වනාන්තරවල ‘ව්‍යාජ නිවාස ගම්මාන’ ඉදි කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙමින් සිටින බවට ජානිපෙ නායක විමල් වීරවංශ හෙළිදරව්වක් කර තිබේ.
ඊයේ (15) විල්පත්තු ජාතික වනෝද්‍යානයෙහි කල්ලාරු පරිවාර රක්‍ෂිතයේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක‍්‍රමය නිරීක්‍ෂණයක් කර ඔහු ඒ බව පෙන්වා දුන්නේය. මෙම සංචාරයට විමල් සමග කලා ශිල්පීන් වන ඉරාජ් වීරරත්න හා ගයාන් වික්‍රමතිලක එක්වීමද
විශේෂත්වයකි.
එහිදී  අදහස් දැක්වූ වීරවංශ  මෙසේද පැවසීය.

‘‘2015 මුල් භාගයේදී ජනාධිපතිවරයා, උතුරු - නැගෙනහිර වනාන්තර එළිපෙහෙළි කරමින් නිවාස යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම හෝ වෙනත් කටයුත්තක් කිරීම තහනම් කළාය කීවාට පසුව ආරම්භ කළ නිවාස යෝජනා ක‍්‍රමයක් තමයි මේ අපගේ නිරීක්‍ෂණයට ලක් වන්නේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තමයි මේ විල්පත්තු වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන කල්ලාරු රක්‍ෂිතයේ ඉදි කෙරෙන මෙම නිවාස යෝජනා ක‍්‍රමය සඳහා පූර්ණ අනුග‍්‍රහය සහ අනුබලය ලබා දෙන්නේ. ඒ වගේම මෙම නිවාස යෝජනා ක‍්‍රමයෙන් ඉඩම් ලබා දී ඇති පිරිසට තාවකාලික ඉදිකිරිම් සඳහා රිෂාඞ් බදියුදීන් හිටපු ඇමතිවරයා රුපියල් 50,000 බැගින් ලබා දී ඇති බව ද දැන ගැනීමට තිබෙනවා.
පුත්තලමේ හොඳින් ජීවත් වන, ස්ථිර නිවාස හිමි පුද්ගලයන්ටයි මේ ඊනියා නිවාස ගම්මාන හදන්නේ. මේවා ඇත්තෙන්ම ‘ව්‍යාජ ගම්මාන’ ලෙස හැඳින්විය හැකියි. මෙතැනදී සිදු වන්නේ නිවාස අහිමි පිරිසකට නිවාස ලබා දීමක් නොවෙයි. ඒකයි මා මේවා ‘ව්‍යාජ ගම්මාන’ ලෙස හැඳින්වූයේ. එක පැත්තකින් මෙතැන තිබෙන්නේ අන්තවාදී ආකාරයකින් ජනාවාසකරණය කිරීමක්. අනෙක් පැත්තෙන් මෙතැනදී දේශපාලන බලය යොදා ගනිමින් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට හිමි වනගහනය විනාශ කිරීමක් ද සිදු වෙනවා.
රිෂාඞ් බදියුදීන් හිටපු ඇමතිවරයාට, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට මෙන්ම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය ආකාරයට මේ වන සංහාරයට ඉඩ නොතබන ලෙස මේ රටේ යම් පරිසර බලධාරියකු සිටිනවා නම් අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා.
අපි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කරනවා. මේ ප‍්‍රශ්නය ජනතාව අතරට ගෙන යනවා. මෙවැනි, මේ රටේ ජනතාව සතු අනගිතම පොදු දේපළක් විනාශ කිරීමට ඉඩ දී අපට නිහඟව සිටීමට බැහැ. එහෙනම් අපි ‘මනුෂ්‍යයන්’ වීමට බැහැ. ජනාධිපතිවරයා ඇවිත් මේවා නිරීක්‍ෂණය කරන්න  ඕනෙ. ප‍්‍රශ්නය තිබෙන්නේ ලී මඩුවේ, වඩු මඩුවේ හෝ මිනී පෙට්ටි සාප්පුවේ නොවෙයි. මහා වනාන්තරවල පරිවාර වනාන්තර මේ විදියට විනාශ කරන නිසයි මේ රටේ වනගහනය අඩු වන්නේ. ඒ නිසා මේ වගේ ‘ව්‍යාජ නිවාස ගම්මානවලට’ රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙන අතරේ මේ රටේ වනගහනය රකින්න වඩු මඩු තහනම් කිරීම හරියට ‘අතීසාරයට අමුඩ ගහනවා’ වගේ වැඩක්’’

මෙම නිරික්ෂණ චාරිකාවට ජානිපෙ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, පරිපාලන ලේකම් සමන්සිරි හේරත් ඇතුළු ජානිපෙ මහජන නියෝජිතයෝ පිරිසක් ද ප‍්‍රවීණ රංගන ශිල්පී ගයාන් වික‍්‍රමතිලක, ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු කලාකරුවෝ පිරිසක් මෙන්ම විශේෂ මාධ්‍ය කණ්ඩායමක් ද එක්ව සිටියහ.