වසර 25 කට වඩා පැරණි ජාතික පුවත්පතක් වන ලක්බිම ඉරිදා පුවත්පත අද (16) සිට මුද්‍රණය නතර කිරීමට එහි පාලනාධිකාරය තීරණය කර තිබේ.
මීට පෙර 2018 ජුනි මස ලක්බිම දිනපතා පුවත්පතද වසර 19 ක ඉතිහාසයක් නිමා කරමින් වසා දමා තිබූ අතර එතැන් සිට පසුගිය සතිය දක්වා පළවූයේ ඉරිදා ලක්බිම පමණි.
තිලංග සුමතිපාලගේ සුමති සමූහ ව්‍යාපාරයට අයත් ලක්බිම පුවත්පත ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ විශාල වෙනස්කම් ඇති කළ ජාතික පත්තරයකි. ජනප්‍රිය සංස්කෘතිය ජාතික පත්තරවලට ආගන්තුකවූ සමයක රිද්ම අතිරේකය හඳුන්වාදුන්නේද එම පුවත්පතයි. මිත්‍යා විශ්වාස පිළිබඳ

සියලුම පුවත්පත් සිය පිටු සරසද්දී ලක්බිම එය අත්හැරිය අතර නැවුම් විශේෂාංග වලට මුල්තැන දුනි.
පසුගිය වසර කිහිපය තුළ අන්තර්ජාල මාධ්‍ය වර්ධනය හා පොත් පුවත්පත් කියවන පාඨක පිරිස් ශිඝ්‍ර ලෙස පහත වැටීමේ සමාජ ප්‍රවණතාවයේ ගොදුරක් ලෙස මෙරට පළවූ පුවත්පත් කිහිපයක්ම වසා දැමුණ අතර ලක්බිම පුවත්පතද එයට හසු විය.

පසුගිය කාලයේ පාඩු ලබන තත්වයට පත්වූ ලක්බිමට තවදුරටත් ආයෝජනය නොකරන්නට සුමති සමාගම තීරණය කළ පසුව වෙනත් ආයෝජකයින් සොයාගෙන පුවත්පත වැටෙන්නට නොදී රැක ගන්නට එහි සේවක පිරිස් කටයුතු කර තිබුණි. නමුත් මේ වනවිට එම වෑයමද අසාර්ථකවී තිබේ. 53 ක් වූ සේවක මණ්ඩලයට වැටුප් ගෙවා පුවත්පත පවත්වාගෙන යන්නට නොහැකි පසුබිමක් නිර්මාණය වූ නිසා එය මුළුමණින්ම වසාදමන්නට පසුගිය සතියේ තීරණය කර තිබුණි. ඒ අනුව අද ජුනි 16 ඉරිදා පුවත්පත පළවූයේ නැත.