https://www.gossiplankanews.com/2019/06/tv-effect-kid-death.html
පෞද්ගලික රූපවාහිනි නාළිකාවක පසුගිය විසි දෙවැනිදා දහවල් කාලයේදි විකාශය වූ සියදිවි නසා ගැනීමේ සිද්ධියක් අනුකරණය කිරීමට ගිය තෙල්දෙණිය ගිඩ්ඩව කනිටු විදුහලේ පස් වැනි වසරේ වයස අවුරුදු දහයක පාසල් ශිෂ්‍යයකු තම මිත්තණියගේ නිවෙසේ බාල්කයක
රෙදි කඩකින් තොණ්ඩුවක් සාදා එල්ලීමේදි එම තොණ්ඩුව හිර වීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ දුක්මුසු සිද්ධියක් ගිඩ්ඩව ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිය මිත්තණියගේ නිවසේ ඇඳක් මත සෙල්ලම් කරමින් සිටි දරුවා මෙසේ එල්ලෙන්නට ගොස් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තෙල්දෙණිය පොලිස් වසමේ ගිඩ්ඩව ප්‍රදේශයේ පදිංචි ගිඩ්ඩව කනිටු විදුහලේ පස් වැනි වසරේ ශිෂ්‍යයෙකි. සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය තෙල්දෙණිය වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ බාන්ස් රඹුක්වැල්ල මහතා විසින් ගිඩ්ඩව ප්‍රදේශයේ පිහිටි එම නිවෙසේදි පැවැත්විණි.

මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා

තෙල්දෙණිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසත් වැඩ බලන මහෙස්ත්‍රාත් බාන්ස් රඹුක්වැල්ල මහතා තෙල්දෙණිය පොලිසියට නියෝග කළේය.
මරණ පරීක්ෂණයේදි සාක්කි දෙමින් පනස් පස් හැවිරිදි මිත්තණිය කීවේ දරුවාගේ පියා යුද හමුදාවේ සේවය කරමින් සිටියදී මියගොස් ඇති බවත් ඔහුට දරුවන් තිදෙනකු සිටින බවත්ය.

පියා මිය යෑමෙන් පසු දරුවාගේ මව වෙනත් විවාහයක් කරගෙන සිටින බවත් ඇය කොහේ සිටිත්දැයි තමන් නොදන්නා බවත් ඇය සඳහන් කළාය. මියගිය දරුවා විසි දෙවැනිදා දහවල් රූපවාහිනි වැඩසටහනක් නරඹමින් සිටිය අතර එහි විකාශය වූ සියදිවි නසා ගැනීමේ සිද්ධියක් අනුකරණය කරමින් නිවෙසේ ඇඳක් මත සෙල්ලම් කරමින් සිටි බවත් පසුව රෙදි කඩකින් එල්ලෙන්නට ගොස් මෙම සිද්ධිය වී ඇති බව සඳහන් කළාය.

මරණය පිළිබඳව වෛද්‍ය පරික්ෂණය තෙල්දෙණිය දිසා මූලික රෝහලේ පැවැති අතර මෙම පාසල් ශිෂ්‍යයාගේ මළ සිරුර පවුලේ ළඟම ඥාතියකුට භාරදිමටත් නියෝග කළේය. තෙල්දෙණිය පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක ඩී.එස්. පත්මකුමාර මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ උප පොලිස් පරික්ෂ ක මුනිදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ පවත්වන ලදි.

-කේ.නිශ්ශංක-